හදිසි ප්‍රතිකාර විද්‍යායතනයට නව සභාපතිවරයෙක්


(අංජුල මහික වීරරත්න)

අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවල සිදුවන මරණවලින් අඩකට වඩා ශක්තිමත් හදිසි සත්කාර පද්ධති මගින් වලක්වා ගත හැකි බව ගෝලීය දත්ත අනාවරණය කර ඇතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව කීවේ ශ්‍රී ලංකා හදිසි ප්‍රතිකාර පිළිබද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ (SLCEP) 2024-2025 වසර සදහා නව සභාපතිවරයා පත්කිරීම වෙනුවෙන් වු උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි. 

එම උත්සවය  කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

මෙහිදී ශ්‍රි ලංකා හදිසි ප්‍රතිකාර පිළිබද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ 2024-2025 වසර සදහා නව සභාපතිවරයා ලෙස හදිසි ප්‍රතිකාර පිළිබද විශේෂඥ වෛද්‍ය ඉණුක  විජේගුණවර්ධන මහතා පත්විය.

2016 හදිසි අනතුරු සහ හදිසි සත්කාර සදහා වු  ප්‍රතිපත්තිය මගින් වසර තුනක් ඇතුළත සෞඛ්‍ය සේවා ආයතනවලින් 75%ක ක්‍රියාකාරී හදිසි ඒකක පිහිටුවීම අරමුණු කර ඇති බවත්, අවාසනාවකට මෙන්, විවිධ හේතූන් මත කිසිදු අනතුරු සහ හදිසි සත්කාර ඒකකයක් ඊට අදාල මාර්ගෝපදේශවලට සම්පූර්ණයෙන්ම අනුකූල වී නොමැති බව ද අමාත්‍යවරයා  පැවසීය.