සිසුන්ට ආණ්ඩුවෙන් පාවහන් යුගලක්


(අංජුල මහික වීරරත්න)

තෝරාගත් පාසල් සිසුන්, පිරිවෙන් වල ගිහි පැවිදි සිසුන් හා සීල මාතාවන් සඳහා පාසල් පාවහන් යුගලක් ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

2015 වර්ෂයේ සිට තෝරාගත් පාසල් සිසුන් සඳහා පාසල් පාවහන් යුගලක් ලබා දීමේ වැඩසටහන අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කර ඇති අතර, 2020 වර්ෂයේ සිට 2023 වර්ෂය දක්වා තෝරාගත් පිරිවෙන් වල ගිහි පැවිදි සිසුන් හා සීලමාතාවන් ද එම වැඩසටහන යටතට ඇතුළත් කර ගනු ලැබ ඇත.

2025 වර්ෂය සඳහා එකී වැඩසටහන ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පත් කරන ලද නිලධාරී කමිටුවක නිර්දේශ මත පදනම්ව පහත සඳහන් පරිදි පාසල් සිසුන්, පිරිවෙන්වල ගිහි පැවිදි සිසුන් හා සීලමාතාවන් සඳහා පාවහන් මිල දී ගැනීමට රුපියල් 3,000 බැගින් තිළිණ පතක් ලබා දීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අධ්‍යාපන අමාත්‍ය වශයෙන්  අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

* සිසුන් 250ට අඩු පාසල් 6,000 ක ඉගෙනුම ලබන සිසුන් 650,000 ක් සඳහා.

* සිසුන් සංඛ්‍යාව 250ට අඩු පාසල් කාණ්ඩයට අයත් නොවන දිවයින පුරා පිහිටි වතු පාසල් වල සිසුන් 140,000 ක් සඳහා.

* විශේෂ අවශ්‍යතා සහිත සිසුන් ඉගෙනුම ලබන පාසල් 28 ක සිසුන් 2,300 ක් සඳහා.

* පිරිවෙන්වල ඉගෙනුම ලබන තෝරාගත් ගිහි පැවිදි පිරිවෙන් සිසුන් 30,000 ක් සඳහා.