87-89 ධවල සංහාරයෙන් පසුව ජනතා විමුක්ති පෙරමුණ පළමු වරට ප්‍රසිද්ධ දේශපාලනයට පිවිසෙන්නේ 1994 මහ මැතිවරණයෙන්ය. ජාතිය ගලවාගැනීමේ පෙරමුණෙන් මල් බඳුන යටතේ තරග කළ ජවිපෙට හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් එක් මන්ත්‍රී ධුරයක් හිමිවිය. එම මන්ත්‍රී ධුරයේ පළමු වරට දිවුරුම් දුන්නේ හම්බන්තොට දිස්ත්‍රික් ලැයිස්තුවේ මුලින්ම නම තිබූ ජනිත් විපුලගුණය. ඊට පස්සෙ මොකද වුණේ?
මේ ඔහු ඒ ගැන කියන කතාවය.
‘‘මොකක්ද ඇත්තටම එදා වුණේ?’’ කතාවට ආරම්භයක් ලෙස මම ඒ පැනය ඔහුට යොමු කළෙමි.
‘‘එදා ශ්‍රී ලංකා ප්රගතිශීලී පෙරමුණේ ‘ජාතිය ගලවාගැනීමේ පෙරමුණ’ විදියට තමා අපි මැතිවරණයට ආවෙ. ඇත්තෙන්ම අපට අවශ්‍ය වුණා ජ.වි.පෙ. නැවතත් ප්රජාතන්ත්රවාදී දේශපාලන ප්රවාහයට සම්බන්ධ කරගන්න. එතැන තව කණ්ඩායම් රාශියකුත් හිටියා. ජ.වි.පෙ. දෙස් විදෙස් කණ්ඩායම් රැසක එකඟතාව මත තමා එදා අපි ඒ මැතිවරණයට ඉදිරිපත් වුණේ. එතැන තව අතුරු කාරණාත් ගණනාවක්ම තියෙනවා. සමහර ඒවා දෛවෝපගත සිද්ධි. ඒ වගේම ජුගුප්සාජනක තැනුත් නැතුවාම නොවේ එතැන.’’
ජ.වි.පෙ. නායකයන්ගේ අනුදැනුම ඇතිවම එදවස සිදුව ඇත්තේ ආරිය බුලේගොඩගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ප්රගතිශීලී පෙරමුණට ජනතා විමුක්ති රෙමුණේ මතවාදය එක්කාසු කිරීමකි. මැතිවරණ ජයග්‍රහණයම ඉලක්ක කරගෙන කරන ලද එම කටයුත්තේ වැඩි බරක්ද ජනිත්ගේ දෙවුර මත පැටවී තිබිණි. කටයුතු සියල්ලක්ම සංවිධානය කෙරුණේ පාගොඩ මූලස්ථානයේ සිටය. කුමාර් ගුණරත්නම් සහ නන්දන ගුණතිලක සමග තවත් පිරිසක්ද ඊට එක්ව සිටියහ.
‘‘එදා මන්ත්‍රී ආසනය හිමිවුණේ හම්බන්තොටට. මටත් එහි විශාල වගකීමක් පැවරුණා. ගාල්ල, මාතර වගේම හම්බන්තොටත් සම්බන්ධීකරණ කටයුතු මට තමා පැවරුණේ. මාතර පදිංචිකරුවෙක් වුණත් මටත් අන්තිමේ සිදුවුණා හම්බන්තොටින් තරග කරන්න. මොකද නාමයෝජනා සකසා ගැනීම සම්බන්ධයෙන් යම් අවුලක් ආපු නිසා. එදා නිහාල් ගලප්පත්ති වගේම චන්ද්‍රසේන විජේසිංහත් කීවා හම්බන්තොටින් තරග කරන්න අපේක්ෂකයෙක් හොයාගන්න විදියක් නෑ කියලා. නාමයෝජනා පත්‍ර සම්පූර්ණ කර ගැනීම පවා ගැටලුවක්ව තිබුණු වෙලාවක තමා නන්දන ගුණතිලක සහ කුමාර් ගුණරත්නම්ගේ ඉල්ලීමකට අනුව එම දිස්ත්‍රික්කයෙන් තරග කරන්න තීරණය කළේ. කොළඹ ඉඳගෙනම නම් කීපයක් හොයාගෙන තමා අපි නාමයෝජනා පත්‍ර සම්පූර්ණ කළේ. දිස්ත්‍රික්ක කීපයකම කට්ටිය එක්කාසු කරගෙන තමා එදා බොහොම අමාරුවෙන් ඒ කටයුත්ත කළේ.’’
ඉනික්බිති මැතිවරණ ප්රචාරක රැලි ඇරැඹිණි. ජනතා විමුක්ති පෙරමුණේ මුල්ම ප්රචාරක රැළිය නුගේගොඩ පැවති අතර ඊට අති විශාල ජනකායක්ද සහභාගී වූහ. රැස්වීමේ මුල්ම කතාව පවත්වන ලද්දේද ජනිත් විසිනි. එම රැස්වීම හරිහැටි මෙහෙයවීමට පවා කිසිවකුත් නොසිටි අතර, අද තමන් ජනතා විමුක්ති පෙරමුණේ යැයි කියාගන්නා පිරිස් පවා එදා එකී වගකීම්වලින් පලාගිය බව ජනිත් පවසන්නේය. 1990 වර්ෂයේ මැයි මස 2 වැනිදා ජනිත් අත්අඩංගුවට පත්වන්නේද ජවිපෙ දේශපාලන ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වීමේ චෝදනා මතය. හෙතෙම එම මැතිවරණයට ඉදිරිපත් වන්නේද පුනරුත්ථාපන කඳවුරක රැඳවුම්කරුවකු ලෙස හිඳිමින්මය.
‘‘ඇත්තෙන්ම අපට අවශ්‍ය වුණා මේ ජයග්රහණයෙන් පස්සෙ පක්ෂය නැවතත් ගොඩනඟා ගන්න. ඒ වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කරන්න හිත හදාගෙනයි අපි හිටියේ. මගේ ඉල්ලා අස්වීම වුණෙත් ඒ අනුව. ඒත් අපි සමහර තැන්වල දැක්කා ඇතැම් අය මේ ජයග්‍රහණය පස්සෙම හඹායන බවක්. ඒක 1994 පටන්ම තිබුණා. කෙසේ වෙතත් මුල්ම පාර්ලිමේන්තු රැස්වීමට පවා අපේ කිසිම කෙනෙක් එකතු වුණේ නෑ. මොකද යම් යම් නීතිමය ප්‍රශ්න තිබුණු නිසා. ඒත් එක්කම සමහරු බොහොම වැරැදි විදියේ මතවාදත් ප්‍රචාරය කළා. ඒ සියල්ලම බල ලෝභීත්වය මතම ප්‍රකාශ කරපු දේවල් කියන එකත් කියන්නම ඕනෑ. අද වගේම එදාත් ඔය පක්ෂයේ මතවාදයට පිටින් ගිය අය ද්‍රෝහීන් විදියට හංවඩු ගහන එක සිදුවුණා. කොහොම නමුත් මම හරි විදියට මන්ත්‍රීවරයෙක් වශයෙන් දිවුරුම් දීලා සියල්ල අවසානයේ පාර්ලිමේන්තු මහලේකම්වරිය අතට ඉල්ලා අස්වීමත් දීලා තමයි මන්ත්රීකමින් අයින් වුණේ.’’
ජනිත්ගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී අසුන ඉන් අනතුරුව හිමිවන්නේ නිහාල් ගලප්පත්තිටය. ඔහු හා ජනිත් මුල්වරට හමුවූයේ හම්බන්තොට ගැටමාන්නේදීය. ඒ හමුව සිදුවූයේද නාමයෝජනා පත්‍ර සම්බන්ධ කරුණක් කතාබස් කිරීමටය. චන්ද්‍රසේන විජේසිංහ ද ඊට එක්ව සිටියේය.
‘‘දෛවෝපගත සිද්ධිය තමා නාමයෝජනා පත්‍රය පවා හරියට සකස් කරගන්න බැරිවුණු කෙනාට මන්ත්‍රී ආසනය හිමිවුණු එක. මට එදාත් ඒ ගැන විවේචනයක් තිබුණා. ඒත් සමහරු ඒක වටහාගත්තේ වැරදි විදියට. ඒ වනවිටත් නිහාල් ගලප්පත්ති රාජ්‍ය සේවකයෙක් විදියට සේවය කළා වගේ මතකයක් තියෙනවා මට. කොහොම නමුත් මම දිගින් දිගටම පක්ෂය එක්ක හිටියා. 1980 මුල් කාලයේ පටන්ම පක්ෂය හා තිබුණු සම්බන්ධතා මම ඒ විදියටම තියාගත්තා. මා සතුව ඊට අදාළ සාක්ෂි පවා තියෙනවා.’’
‘‘ඊට පස්සේ ඔබ උග්‍ර රාජපක්ෂවාදියෙක් වුණා නේද?’’ කතාවට විරාමයක් තැබීමට ඉඩ නොදෙමින් මම විමසීමි.
“නෑ. ඒක අමූලික බොරුවක්. ඒක විකෘති මතවාදයක්. ජනතාව අතරට යවපු වැරැදි මතවාද අතර තියෙන තවත් එක් මතයක් තමා ඔය කියන මතය. මේ වනවිට ජ.වි.පෙ. තමන්ගෙ ඉතිහාසය මකා දමලයි තියෙන්නේ. ඒ අය තමන්ගේ ඉතිහාසය හරියට සමාජගත කරන්නේ නෑ. ඔවුන් මේ වනවිට කරන්නේ රටේ තරුණ තරුණියන් ඉත්තන් කරගෙන තමන්ගේ අවශ්‍යතා සපුරාගන්න එක. අද ජ.වි.පෙ. යැයි කියාගන්නා සමහරුන්ට වඩා අපි මේ සමාජ දේහය තුළ සැලකිය යුතු වැඩ කොටසක් කරනවා. මම පක්ෂයෙන් ඉවත්වන මොහොතේ ඉදිරිපත් කළ ස්වයං විවේචන පවා ඒ අය ප්‍රතික්ෂේප කළා. ටිල්වින් සිල්වා එදා කීවා ඒක චෝදනා පත්‍රයක් කියලා.’’
පක්ෂයේ ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත් වුවද වාම ජාතිකවාදී දේශපාලනයක් වෙනුවෙන් තමන් දිගින් දිගටම පෙනී සිටි බව ජනිත් විපුලගුණ පවසයි. එහෙත් ජ.වි.පෙ. බොහොමයක් දෙනා කටයුතු කරන්නේ එම පක්ෂයේ ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත්වූ කවරකු වුවද සම්පූර්ණයෙන්ම දේශපාලන ක්‍රියාකාරකම්වලින් ඉවත්විය යුතුය යන ස්ථාවරයේ පිහිටමින් යැයිද හෙතෙම චෝදනා කරයි. තමා රාජපක්ෂ වාදියකු වූ බවට එල්ල කරන චෝදනාවද එම ක්රියාවලියේම දිගුවකැයි අවධාරණය කරන ජනිත් කවර දේශපාලන මතවාදයක් දැරුවද ‘ජාතිකවාදී’ ව්‍යාපාරයකින් තොරව මෙවන් රටවල් ගොඩනැගිය නොහැකි බවද පවසයි.
‘‘අපට මේ විදියට චෝදනා කරන ජ.වි.පෙ.ම තමා කලකට පෙර රාජපක්ෂවරු කරළියට ගේන්න විශාල වැඩ කොටසක් කළේ. අපිත් රාජපක්ෂලා ළඟට ගියේ ජාතිකවාදී ලක්ෂණ යම් හෝ තරමකින් ඔවුන් තුළ ශේෂව තිබුණු බව දැකපු නිසා. ඇත්තෙන්ම මම ඒ කඳවුර එක්ක එකතු වුණේ 1999දි. ටවුන්හෝල් බෝම්බය පිපිරෙන වෙලාවෙත් මම හිටියේ එතැන. මම එදා තීන්දු තීරණ ගත්තේ තනි පුද්ගලයෙක් විදියට. ඒත් පක්ෂයක් විදියට, නැතිනම් කණ්ඩායමක් විදියට ගිවිසුම් පවා ගහලා පසුකාලීනව රාජපක්ෂවරු අභිෂේක ගැන්නුවේ ජ.වි.පෙ. නායකයන්මයි. එහෙම නම් ඉතින් කොහොමද මම කරපු දේ වරදක් වෙන්නේ?’’
රටට ගැළපෙන, වඩාත් නිවැරදි දේශපාලන ව්‍යාපාරයක් වෙනුවෙන් නිරතුරුවම පෙනී සිටීම තම අරමුණ වූ බවද ජනිත් විපුලගුණ කියයි. ඒ වෙනුවෙන් විවේචනාත්මක සහයෝගය සැපයීම තමන් විසින් කරනු ලබන්නේ සියල්ලන්ගේම ජයග්‍රහණවලට සාධාරණයක් ඉටුකිරීමේ අරමුණින් බවද ඔහු සඳහන් කරයි. මේ කියුම් කෙරුම් කවරක් වුවද අද ඔහු නැවතී සිටින්නේ සිය මුල් කාලීන දේශපාලනයට හාත්පසින්ම වෙනස් තැනකය. ‘දේශපාලනය’ වනාහී වෙනස් වන ස්වරූපයක් බවත් කවර දේශපාලන ව්‍යාපාරයක වුවද සාධනීය දේ තුළින් රටක සමෘද්ධිමත් භාවය ළඟාකර ගැනීමේ වරදක් නැති බවත් මේ කතාබහට තිත තබමින් ජනිත් විපුලගුණ අප හා පැවසීය.
අමිල දොළපිහිල්ල