(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන්ගේ අවසරයකින් තොරව මහරගම පන්නිපිටිය දෙපානම ප්‍රදේශයේ රජයේ කොන්ත්‍රාත්කරුවකුගේ නිවසට ගොස් කොන්ත්‍රාත්කරුගේ පුතු මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන්නෙක් බවට ඔහුගේ බිරිඳ බිය ගැන්වූ එම දෙපාර්තමේන්තුවේ බුද්ධි ඒකකයේ කොස්තාපල්වරුන් දෙදෙනාගේ රාජකාරී වැඩ තහනම් කර ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.
මෙම කොස්තාපල්වරුන් දෙදෙනා සමඟ පසුගිය මස 29 වැනි දින එම නිවසට ගොස් මෙම බිය ගැන්වීම කර තිබේ.
එම කොස්තාපල්වරුන් සමඟ සිද්ධියට සම්බන්ධ වරාය අධිකාරියේ සේවය කරන පුද්ගලයෙකු මෙන්ම ඔවුන්ට මෙම කොන්ත්‍රාත්තුව භාරදුන් පුද්ගලයාද තලවතුගොඩ ප්‍රදේශයේ හෝටලයක මත්පැන් පානය කරන බවට මහරගම පොලිසියට ලද තොරතුරක් අනුව එහි ගොස් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණි. ඒ වන විට බුද්ධි නිලධාරීන් දෙදෙනා ද පලා ගොස් තිබු බව පොලීසිය කියයි.
පන්නිපිටිය දෙපානම රජයේ කොන්ත්‍රාත්කරුගේ පුතු මාලබේ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ දියණියක් සමග පෙම් සබඳතාවයකින් අනතුරුව විවාහ වී සිටින අතර එම විවාහයට තරුණියගේ පාර්ශවයේ මව්පියන් මුල සිටිම දැඩිව අකමැත්ත ප්‍රකාශ කරන බැවින් තරුණිය සිය තනි කැමැත්තට විවාහ වී තිබූ බව පොලිසිය කියයි.
මෙම සිද්ධිය හේතුකරගනිමින් තරුණියගේ පියා ෙඅපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ බුද්ධි නිලධාරීන් දෙදෙනකු තරුණයාගේ නිවසට එවා ඔහු මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන්නෙක් බවට චෝදනා කර ඔහු නීතියේ රැහැනට හසුකර දීමට සැලසුම් කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.
මෙම සිද්ධියට සම්බන්ධ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා අසනීප නිවාඩු වාර්තාකර තවමත් සේවයට පැමිණ නැතැයි උසස් නිලධාරියෙක් සදහන් කළේය.

