(ගයාන් සූරිය ආරච්චි සහ කැලණිය ලාල් එස් කුමාර)

පරවියන් සම්බන්ධව ඇති වූ ආරවුලක් මත පෑලියගොඩ මීගහවත්ත ප්‍රදේශයේ පුද්ගලයකු කපා කොටා ඝාතනය කර ඔහුගේ සහෝදරයාගේ අතෙහි ඇඟිලි තුනක් වෙන් වෙන්නම කැපු බව කියන සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව පෑලියගොඩ මූලස්ථාන පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පෑලියගොඩ මීගහවත්ත ප්‍රදේශයේ පදිංචි අවුරුදු 23 ත් 26 ත් අතර පුද්ගලයන් තිදෙනෙකි.

අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරුගේද අතකට මන්න ප්‍රහාරයක් වැදීම හේතුවෙන් ඔහුද පොලිස් ආරක්ෂාව යටතේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය පැවසුවේය.

මියගිය පුද්ගලයාගේ ගෙල ප්‍රදේශයට මන්න පහරවල් එල්ල වී තිබූ අතර ඔහුගේ සහෝදරයාට ද සැකකරුවන් මන්න ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් ඔහුගේ අතෙහි ඇඟිලි තුනක් වෙන් වෙන්නම කැපී ගොස් තිබූ බව පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇත.

සැකකරුවන්ගේ පරවියෙකු පැමිණිලි කරුවන්ගේ පරවිරාණ සමග එකතු වූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මීට දින දෙක තුනකට පෙර දෙපිරිස අතර ආරවුලක් හටගෙන තිබූ බවත් අනතුරුව ඊයේ (18) සවස දෙපිරිස අතර ඇති බහින්බස්වීමක් දුර දිගේ යාමෙන් පසු සැකකරුවන් අතර ආරවුලක් හට ගෙන තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මියගිය පුද්ගලයා මීගහවත්ත ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙකි.