
(අංජුල මහික වීරරත්න)
සාම්ප්‍රදායික දේශපාලනයෙන් මිදී රට පිළිබඳ අලුතින් සිතා අලුත් මාවතක යන පක්ෂය බවට එක්සත් ජාතික පක්ෂය පරිවර්තනය කර ගනිමු යැයි එජාප නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලු එක්සත් ජාතික පාක්ෂිකයින්ගෙන් ඉල්ලා සිටියේය.
2048 ශ්‍රී ලංකාවේ දියුණුවේ වසර බව අවධාරණය කළ ජනාධිපතිවරයා එම ගමනේදී සියලු දේශපාලන පක්ෂ මෙන්ම ජනතාව ද එකමුතුව අත්වැල් බැඳගනු ඇතැයි කීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අද (01) පෙරවරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රිඩාංගණයේ පැවති එක්සත් ජාතික පක්ෂ මැයි දින සැමරුම් උළෙල විද්‍යුත් තාක්ෂණය ඔස්සේ අමතමිනි.
එක්සත් ජාතික පක්ෂයේ මැයි දින සැමරු උළෙල දහස් සංඛ්‍යාත ජනකායකගේ සහභාගිත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.
උතුරු නැගෙනහිර ඇතුළු දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය කරමින් පිරිස් මැයි දින උළෙලට සහභාගී වී සිටියහ.
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ඇතුළු එජාප නායකයන් දින සැමරුමට සහභාගී වීමත් සමග ජාතික ගීය ගායනා කොට එජාප ජාත්‍යන්තර කම්කරු දින සැමරුම ආරම්භ කෙරිණි.
අනතුරුව රටට නිදහස ලබාගැනීමේ සිට එක්සත් ජාතික පක්ෂයේ පෞඩත්වය විදහා දැක්වෙන වීඩියෝ පටයක් විකාශය කෙරිණි.
අනතුරුව එක්සත් ජාතික පක්ෂයේ අනාගත සැලසුම් එලිදක්වමින් "2048 ජයගමු"වීඩියෝ පටය ප්‍රදර්ශනය කෙරිණි.
විවිධ වෘත්තීය සංගම් සහ දේශපාලන සංවිධානය 68ක නියෝජිතයෝ ද මෙම කම්කරු දින උළෙල සඳහා සහභාගී වූහ.
සාම්ප්‍රදායික බෙර වාදන නර්තනාංග සහ ගායනාංග වලින් ද කම්කරු දින උළෙල අලංකාර විය.

