සමෘද්ධියේ වාහන 33ක් කොට උඩ


(සුජිත් හේවාජුලිගේ )

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ  වාහන 146 කින් 33 ක් කාර්මික දෝෂයට ලක්වූ දීර්ඝ කාලයක සිට දෙපාර්තමේන්තු පරිශ්‍රයෙහි හා ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත රථ ගාලේ  අනාරක්ෂිතව  ගාල්කර තිබුණු බව නිරීක්ෂණයවී යැයි  ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

ඉන් වාහන  14 ක්  අලුත්වැඩියා කර ධාවනය කිරීමට සුදුසු තත්වයේ පවතින බව කාර්මික නිලධාරීන්ගේ වාර්තාවලින්  පැහැදිලිවී යැයි  ජාතික විගණන කාර්යාලය පවසයි.

කාර්මික නිලධාරීන් මෙම වාර්තා ඉදිරිපත්කර ඇත්තේ  2020 ඔක්තෝම්බර්  සහ 2021 ජුලි  මාසවලදී  යැයිද  විගණන වාර්තාවේ දැක්වේ.

මෙම වාහන අලුත්වැඩියා කිරීමට එහි කළමනාකාරීත්වය පසුගිය වසරේ අප්‍රේල් 24 වැනිදා දක්වාම  ක්‍රියා කර නොතිබූ බව පවසන විගණන නිලධාරීහු  මෙම වාහන අළුත්වැඩියා නොකිරීම හේතුවෙන් ඒවා පාවිච්චියට ගත නොහැකි වන තත්වයට පත්වෙමින්  පවතින බවද ප්‍රකාශ කළහ.

එම වාහනවල අමතර කොටස් අස්ථානගතවීම වළක්වා ගැනීම කළමනාකාරීත්වයේ වගකීම බවද  විගණන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

මෙම තොරතුරු සඳහන් වන්නේ පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කෙරුණු සමෘද්ධි සංවර්ධන  දෙපාර්තමේන්තුවේ 2021 කාර්ය සාධන වාර්තාවේය.