සම්බන්ධන් කතානායක තීන්දුවට එකඟ නොවෙයි



(එෆ්.අස්ලම්)

තමන්ට තවදුරටත් විපක්ෂනායක ධූරය දැරීමේ හැකියාවක් ඇති බවත් රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හා පාර්ලිමේන්තු සම්ප්‍රදායන්ට පටහැනිව කරනු ලබන පත්කිරීම් කිසිවිටෙක පිළිගත නොහැකි බවත් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්පන්දන් මහතා  පැවසීය.

මහින්ද රාජපක්ෂ මහතාට හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානයට විපක්ෂනායක ධූරය ලබාදීමට හැකියාවක් නොමැති බවත් ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගැනීම හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පිරිසක් වත්මන් ආණ්ඩුව හා එක්වීම ඊට හේතු වී ඇති බවත් හෙතෙම අවධාරණය කළහ‍.

විපක්ෂනායක ධූරය සදහා කුරුණෑගල දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්ෂට පත්කරන බවට තමා දුන් තීරණයේ වෙනසක් නොමැති බවට පසුගියදා පක්ෂ නායක රැස්වීමේදී කථානායක කරු ජයසූරිය මහතා අවධාරණය කළ අතර ඒ සම්බන්ධයෙන් ආර්.සම්බන්ධන් මහතාගෙන්  කළ විමසුමකට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව සදහන් කර සිටියේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ සම්බන්ධන් මහතා මෙසේද කීය.

පාර්ලිමේන්තුවේ බහුතරය ඇති කණ්ඩායම ආණ්ඩු  පක්ෂය වෙනවා.ඊට පසු බහුතරයක් තියෙන පක්ෂය පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව විපක්ෂය ලෙසින් කටයුතු කරනවා.2015 ජනාධිපතිවරණයෙන් සහ මහ මැතිවරණයෙන් පසුව ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම එකතු වෙලා ජාතික ආණ්ඩුවක් විදිහට රට පාලනය කළා.මේ අනුව පාර්ලිමේන්තුවේ තුන්වැනියට බහුතරයක් හිමිකරගත් පක්ෂය වුන දෙමළ ජාතික සන්ධානය ප්‍රධාන විපක්ෂය බව දැනුම් දුන්නා.

පසුගිය ඔක්තෝබර් 26 වනදා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධව දේශපාලන වශයෙන් ඇතිවූ අර්බුදකාරි තත්වයෙන් පසු  විපක්ෂනායක වශයෙන් දැනුම් දුන් මහින්ද රාජපක්ෂ මහතා  ශ්‍රීලංකා පොදුජන පෙරමුණ නැමති පක්ෂයේ සාමාජිකත්වය ගෙන තිබෙනවා.එම තත්වය මැද ඔහුට පාර්ලිමේන්තු මන්ත්‍රිධූරයේ සිටීමද ප්‍රශ්නයක් වී තිබෙනවා.මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදුකරල සත්‍ය හෙලිකළ යුතුයි.

මීලගට වත්මන් ආණ්ඩුව සමගින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අය එකතු වෙලා ඉන්නවා.ඉදිරියේදීත් ඒ සන්ධානයේ තවත් අය ආණ්ඩුවට එකතු වෙන්න ඉන්නවා කියලත් කියනවා.ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නියෝජිතයින් එජාප ආණ්ඩුව සමග එක්ව සිටියෙදී එම සන්ධානයේ නියෝජිතයෙකුට පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ධූරය දිය නොහැකියි. මේ සම්බන්ධයෙන් නිසි පිළිතුරු රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හා සම්ප්‍රදායන්ට අනුකූලව ලබාදෙන්න ඕන.

විපක්ෂනායක ධූරය මම බලහත්කාරයෙන් තියාගෙන නැහැ.1977 වසරේදී ඒ.අමිර්තලිංගම් මහතා මේ රටේ විපක්ෂනායක විදිහට හිටියා.ඒ කාලයේ ශ්‍රිලංකා නිදහස් පක්ෂයට පාර්ලිමේන්තුවේ ආසන හයයි හිමිවෙලා තිබුනේ.ආසන 18ක් හිමිකරගත් අපටයි දෙවනුවට බහුතරයක් තිබුනේ.වත්මන් පාර්ලිමේන්තුව තුළ අප සුළුජන නියෝනයක් බව පිළිගන්නවා.එහෙයි කියල නීතියට හා සම්ප්‍රදායන්ට එරෙහිව සිදුකරන පත්කිරීම් පිළිගන්න බැහැ.

රටේ මූලික නීතියට සර්ව සාධාරණව පැවතිය යුතුයි කියන ස්ථාවරයේ අප පසුවෙනවා.1983දී මාද ඇතුළු අප පක්ෂයේ නියෝජිතයින් පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයද විසිකර දමා ගිය බව නැවත වරක් මතක් කරන්න ඕන.අප පදවි තානාන්තර වරප්‍රසාදවලට ආස නැහැ.ප්‍රතිපත්තිගරුකව අවංකව කටයුතු කරන්න ඕන කියන එකයි අපේ ස්ථාවරය.ඊට පටහැනි කිසිම ක්‍රියාමාර්ගයකට අනුව අපට අත්හැරීම් කරන්න බැහැ.

මේ පිලිබද අපගේ ස්ථාවරය පෙරාතුවම දැනුම්දී තිබෙනවා.විපක්ෂනායක ධූරය වෙනුවෙන් අශීලාචාර විදිහට කටයුතු කරන්න බැහැ.අධිකරණය හමුවට මේ ප්‍රශ්නය අරන් යනවද කියල අපි මෙතෙක් තීරණය කරල නැහැ.