සමගි වනිතා බලවේගයෙන් සජබ මහලේකම්ට ලිපියක්


(නිමල කොඩිතුවක්කු)

තීරණාත්මක මොහොතක පක්ෂය පාවා දී කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මනුෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු යන මහත්වරුන් නැවත පක්ෂයට එක් කර නොගැනීමට සහ නැවත නාමයෝජනා ලබා නොදීමට කටයුතු කරන ලෙස ඉල්ලමින් සමගි වනිතා බලවේගය පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.

රටේ පවතින ආර්ථික දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීන්දු තීරණ රාශියක් පක්ෂය විසින් ගෙන තිබියදී ජාතික ලැයිස්තු මන්ත්‍රී  හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර යන මහත්වරුන් අමාත්‍ය ධුර භාර ගෙන ආණ්ඩුවට එක් වීම තුළින් පැහැදිලි වන්නේ පක්ෂය අමු අමුවේ පාවා දී ඇති බවත් එම ලිපිය මගින් පෙන්වා දෙයි.

පක්ෂය හා නායකත්වය පිළිබඳව අසත්‍ය කරුණු ගණනාවක් සමාජගත කරමින් පක්ෂයේ  ප්‍රතිරූපයට හා නායකයාගේ ප්‍රතිරූපයට හානි කිරීමට ඔවුන් උත්සාහ කරන බවත් සමගි  වනිතා බලවේගය පක්ෂ මහලේකම්වරයා වෙත යොමු කළ ලිපියේ දැක්වේ.

එමෙන්ම පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා වැනි රටට උදාර සේවාවක් කළ රට පිළිගත් නායකයින් අවමානයට ලක් කිරීමෙන් ඔවුන් වෙනත් දේශපාලන න්‍යාය පත්‍රයක  අතකොලු බවට පත්ව ඇති බවත් දේශපාලන ප්‍රතිපත්ති හිරිකිතයකින් තොරව මුදලට පාවා දී ඇති බවත් එම ලිපිය මගින් කරුණු දක්වා ඇත.

ඔවුන්ගේ හැසිරීම සමාජ මාධ්‍ය ජාලා ඇතුළු සමස්ත ජන ප්‍රජාවේම අප්‍රසාදයට හා පිළිකුලට හේතු වී ඇති බැවින් නැවත පක්ෂය සමග ගනුදෙනු කිරීමට මෙම පුද්ගලයන් දෙදෙනාට අවස්ථාව ලබානොදෙන ලෙස සමගි වනිතා බලවේගය යෝජනා සම්මතයකින් පසු මෙම ලිපිය යොමු කර ඇති බවත් එහි සඳහන් වෙයි.