
(අංජුල මහික වීරරත්න)
විකාශන අධිකාරි පනතට සදාචාරාත්මක නොවන අයුරින් මාධ්‍ය හසුරුවන ආයතන බිය විය යුතු බව ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු ලේකම් මහාචාර්ය ආශු මාරසිංහ මහතා පැවසීය.
සදාචාරාත්මකව මාධ්‍ය හසුරුවන ආයතනය එම පනතට බියවිය යුතු නැතැයි ද මාරසිංහ මහතා කීය.
පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මහාචාර්ය ආශු මාරසිංහ මහතා මේ බව සඳහන් කළේය.
මාධ්‍ය ආයතනවල බලපත්‍ර අහෝසි කිරීමට විෂය භාර අමාත්‍යවරයාට දැනටමත් පුළුවන්කම තිබෙන බව කී ආශු මාරසිංහ මහතා නමුත් එවැනි දෙයක් සිදු නොවන බව සඳහන් කළේය.
සමාජ මාධ්‍යවලට තද නීති අවශ්‍ය බවත් ව්‍යාජ සමාජ මාධ්‍ය ගිණුමක් ආරම්භ කර ගැනීමෙන් පසු තමන්ට ඕනෑම දෙයක් ප්‍රකාශ කිරීමේ හැකියාව තිබෙන බව කී මාරසිංහ මහතා ඒ සම්බන්ධයෙන් තිබෙන නීතිරීති පනත් ලෙස සම්මත කර ගත යුතු යැයි ප්‍රකාශ කළේය.

