සජබෙන් නොමිලේ නීතිඥ සහාය


(නිමල කොඩිතුවක්කු)

ඉන්ධන පෝලිම් අසල සිදුවන පොලිස් පහරදිම් මෙන්ම සාමකාමී උද්ඝෝෂණ වලට එරෙහිව සිදු කරන පොලිස් පහරදිම් වලට එරෙහිව සමගි ජන බලවේගයේ නීතිමය සහාය අවශ්‍ය සියලු දෙනාටම නොමිලේ ලබාදීමට පියවර ගන්නා බව සමගි ජන බලවේගයේ  මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් සියලුම අරගල කරුවන් වහාම නිදහස් කරන ලෙසත් පොලිසිය දිගින් දිගටම සිදු කරන මර්දනය නවතන ලෙසට බල කරන බවත් මහලේකම්වරයා  නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

 "රටේ  ස්ථාවර දේශපාලනයක් සදහා ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත්වීම අනිවාර්ය කොන්දේසියකි. එය යටපත් කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත්කොට රටේ ජන අරගලය යටපත් කිරිමට දැරූ නිර්ලජ්ජිත උත්සාහය හෙලිදරව් වී ති‌බේ.

එයට එරෙහිව අරගලකරුවන් ජනාධිපති කාර්යාලය අභියස පවත්වන උද්ඝෝෂණයට පොලිස් ප්‍රහාරයක් එල්ල කරමින් මර්දනය කිරිමට දරන උත්සාහය අපි දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකිමු. එමෙන්ම ජනතා අභිලාසය වෙනුවෙන් පෙනි සිටින අරගලකරුවන් අනීතික ලෙස අත් අඩංගුවට ගැනීම හෙලා දකිමු.

තම බලය කෙසේ හෝ රැක ගැනිමට උත්සාහ දරන ජනාධිපතිවරයා මෙන්ම ගොඨාගෝ ගමට ආරක්ෂාව සහ පහසුකම් සලසන බව කියු ජනවරමක් නොමැති අගමැතිවරයා ද කල යුත්තේ ජනතා මතයට හිස නමා සැබෑ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට අවකාශය සලසා දිමට තනතුරු වලින් ඉල්ලා අස්විමයි.