සක් සුරින් යළි තායිලන්තයට


(විමුක්ති එස් රුද්‍රිගු)

තායිලන්ත රජය 2001 වසරේ ශ්‍රී ලංකාවට තෑගි දුන් ඇතුන් තිදෙනාගෙන් එක් ඇතෙකු වන සක් සුරින් නැවතත් තායිලන්තයට ගෙන්වා ගත හැකි ක්‍රමයක් පිළිබඳව තායිලන්ත රජය සොයා බලමින් සිටින බවත් සක් සුරින් නැවත තායිලන්තයට ගෙන්වා ගැනීමේ අදහස තායිලන්ත රජය ඉවත දමා නොමැති බවත්  එරට මාධ්‍ය වාර්තා කර ඇත .

සක් සුරින් ගේ මෙරට භාරකරුවන් සක් සුරින් නිසියාකාරයෙන් රැක බලා නොගන්නා බවට සත්ව අයිතිවාසිකම් පිළිබඳ සංවිධානයක් පසුගිය වසරේ පල කළ වාර්තාවක් සමඟ තායිලන්ත රජය සක් සුරින් නැවත තායිලන්තයට ගෙන්වා ගැනීමේ තීරණයට එළඹුණු බව එරට මාධ්‍ය පෙන්වා දී තිබේ.

තායිලන්ත රජය සක් සුරින් ගේ තත්ත්වය පිළිබඳ දැනුවත් වූවත් සක් සුරින්ගේ විශාලත්වය සහ සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් නැවත සක් සුරින් තායිලන්තයට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් එරට රජයට ගැටලුකාරී තත්ත්වයකට මුහුණ දීමට සිදුව ඇතැයි තායිලන්ත මාධ්‍ය සඳහන් කර ඇත. සී-130 ප්‍රවාහන ගුවන් යානයක් භාවිත කරමින් සක් සුරින් නැවත තායිලන්තයට ගෙන්වා ගැනීම මූලික සැලැස්ම වූ බව ඒ පිළිබඳ අදහස් දක්වමින් එරට ස්වභාවික සම්පත් සහ පරිසර අමාත්‍ය වරවුට් ශිල්ප ආචා මහතා ප්‍රකාශ කර තිබේ.

සී-130 ප්‍රවාහන ගුවන් යානයේ භාණ්ඩ ප්‍රවාහනය කරනු ලබන කොටසට සක් සුරින් ගේ විශාලත්වය හේතුවෙන් සක් සුරින් ඇතුල් කිරීමට නොහැකි වීම නිසා එම අදහස් අතහැර දැමූ බව අමාත්‍යවරයා පවසා ඇත.තවත් විකල්පයක් ලෙස සක් සුරින් ගෙන්වා ගැනීමට නෞකාවක් එවීමට තායිලන්ත රජය සැලසුම් කළත් ගමනට සති දෙකක් ගත වන බැවින් එය තුවාල ලබා සිටින සක් සුරින් ගේ සෞඛ්‍ය තත්ත්වයට යහපත් නොවන බැවින් එම විකල්පයද අත්හැර දැමූ බව අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

ඒ හේතුවෙන් එරට විදේශ කටයුතු අමාත්‍යංශය හා එක්ව ස්වභාවික සම්පත් සහ පරිසර අමාත්‍යංශය සක් සුරින් නැවත තායිලන්තයට ගෙන්වා ගැනීම සඳහා කටයුතු කරමින් සිටින බව අමාත්‍යවරයා පවසා ඇත.