ශ්‍රී ලංකාව තුළ නව ක්ෂේත්‍ර


(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාව තුළ නව ක්ෂේත්‍රයන් හි මහා පරිමාණ ආයෝජන සිදු කිරීමට ඉන්දියාව බලාපොරොත්තුවන බව ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් භග්ලේ මහතා ද ප්‍රින්ට් වෙබ් අඩවිය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.

ජනවාරි සිට මේ දක්වා ඉන්දියාව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 4 කට ආසන්න මූල්‍ය සහායක් ශ්‍රී ලංකාවට ලබා දී ඇතැයි ගෝපාල් භග්ලේ මහතා පෙන්වා දුන්නේය.

එහිදී පුනර්ජනනීය බලශක්තිය, හයිඩ්‍රොකාබන, වරාය සහ යටිතල පහසුකම්, කිරි නිෂ්පාදන, කෘෂි කර්මාන්තය, අධ්‍යාපන, තොරතුරු තාක්ෂණය වැනි ක්ෂේත්‍රවල ආයෝජන සිදු කිරීමට ඉන්දියාව අවධානය යොමු කර ඇතැයි භග්ලේ මහතා ප්‍රකාශ කළේය.දීර්ඝ කාලයක සිට අපේක්ෂාවෙන් සිටින ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආර්ථික හා තාක්ෂණ සහයෝගිතා ගිවිසුම අත්සන් කිරීමටද බලාපොරොත්තුවෙන් සිටින බව භග්ලේ මහතා පැවසුවේය.

ශ්‍රී ලංකාවේ වත්මන් අර්බුදය හේතුවෙන් නතර වී තිබෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා නැවත ආරම්භ කිරීමට පහසුකම් සැලසීමට ඉන්දියාව සූදානම් බව භග්ලේ මහතා එහිදී සඳහන් කළේය.