වීසා


(සන්ඩේ ටයිම්ස්)

වීසා නිකුත් කිරීමට අදාලව ජී.බී.එස් ටෙක්නොලොජි සර්විස්, අයි.වී.එස් ග්ලෝබල් සහ වී.එෆ්.එස් වර්ල්ඩ්වයිඩ් හෝල්ඩින්ග්ස් සමාගම් සමග රජය අත්සන් කළ ගිවිසුම ඉදිරියට ගෙන යන බව මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වියානි ගුණතිලක මහතා ප්‍රකාශ කළේය.

වීසා නිකුත් කිරීමේදී පද්ධතියේ ඇතිවූ ප්‍රමාදය සහ ගැටලු තාක්ෂණික දෝෂ නිසා ඇති වූවක් බවත් එම තාක්ෂණික දෝෂ නිරාකරණය කිරීමෙන් පසුව ලබන සතියේදී නැවතත් පද්ධතිය බලාත්මක කරන බවත් වියානි ගුණතිලක මහතා පැවැසුවේය. නමුත් ඒ සඳහා දිනයක් ලබාදීම වියානි ගුණතිලක මහතා ප්‍රතික්ෂේප කළේය.

ශ්‍රී ලංකාවේ ආගමන කටයුතු හසුරුවන ඉන්දියානු කාර්ය මණ්ඩලය තම විදේශීය බිරිඳට වීසා බලපත්‍රයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කළ බවට චෝදනා කරන බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණි මගියෙකුගේ වීඩියෝ දර්ශනයක් සමාජ මාධ්‍ය තුළ පළ වීමත් සමඟ පසුගියදා ආන්දෝලනාත්මක  තත්වයක් හට ගත්තේය.

ගැටලුව සම්බන්ධයෙන් විමසා බැලීමේදී මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ඇති ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, මෙරට වීසා ලබා දීමේ කටයුතු ගිවිසුම් ප්‍රකාරව ජී.බී.එස් ටෙක්නොලොජි සර්විස් සහ අයි.වී.එස් ග්ලෝබල් සමාගම් වෙත පවරා ඇති බවත් වී.එෆ්.එස් වර්ල්ඩ්වයිඩ් හෝල්ඩින්ග්ස් සමාගම තාක්ෂණික හවුල්කරුවෙකු ලෙස ඒ සඳහා සම්බන්ධ කරගෙන ඇති බවත් අනාවරණය විය.

එහිදී නව පද්ධතිය ක්‍රියාත්මක වීමත් සමඟ වසර කීපයක් තිස්සේ කිසිම ගැටලුවක් නොමැතිව ක්‍රියාත්මක වූ පැරණි ඉලෙක්ට්‍රොනික සංචාරක අවසර පද්ධතිය අහෝසි වී යන බවද හෙළි විය.