විස මත් රකුසාට අද රටම එකට එරෙහි වෙයි


(අංජුල මහික වීරරත්න)

දිවයිනේ සියලුම පළාත් සභා, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ පළාත් පාලන ආයතන වල කාර්ය මණ්ඩල විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන "රටම එකට ජාතික මෙහෙයුම " වැඩසටහනට අද සජීවීව සම්බන්ධ වීමට නියමිතය.

විෂ මත් ව්‍යසන පරදන " රටම එකට" ජාතික මෙහෙයුම වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී අද (30) උදේ 10ට ඇරැඹෙයි.

රටේ විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම මෙම ජාතික මෙහෙයුමේ මූලික අරමුණයි.

මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීමේ ජාතික වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජාතික මෙහෙයුම් සභාවක් මේ වන විට පිහිටුවා ඇති අතර එම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා පුළුල් මහජන සහාය ලබා ගැනීමේ යාන්ත්‍රණය ලෙස දිස්ත්‍රික් මෙහෙයුම් සභා, ප්‍රාදේශීය මෙහෙයුම් සභා සහ ග්‍රාමීය මට්ටමෙන් මහජන ආරක්ෂක කමිටු සහිත ව්‍යුහයක් පිහිටුවීම රජයේ අපේක්ෂාවයි.

රටම එකට ජාතික මෙහෙයුම් සභාවේ සංයුතිය ලෙස පාර්ශව 23ක් කටයුතු කරනු ලබයි.

මෙහෙයුම් සභාවේ සභාපති ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කටයුතු කරන අතර එහි ලේකම්වරයා වන්නේ ජනාධිපති ලේකම්වරයායි.