විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පශ්චාත් උපාධි අතහැරීමෙන් කෝටි 93ක පාඩුවක්


 

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් එකසිය අසූ නව දෙනකු පශ්චාත් උපාධී හැදෑරීම අතරමග නතර කිරීමෙන් රුපියල් කෝටි අනූතුනක  පමණ  පාඩුවක් රජයට සිදුව ඇතැයි  අධ්‍යාපන අමාත්‍ය  ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පාර්ලිමේන්තුවේ දී අද (20) පැවසීය.

ඇමැතිවරයා මේ බව සඳහන් කළේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

පසුගිය දෙදහස් දහය වසරේ සිට මේ දක්වා ආචාර්යවරුන් දෙදහස් හාරසිය පනස් හත් දෙනකු  ආචාර්ය උපාධී පාඨාමාලා හැදෑරීම සඳහා තෝරා ගෙන ඇති බව පැවසූ අමාත්‍යවරයා උපාධි හැදෑරීම මෙසේ  අතරමඟ නවතා ඇත්තේ ඉන් පිරිසක් බවද සඳහන් කළේය.

ආචාර්යවරුන්ට පශ්චාත් උපාධි හැදෑරීම සඳහා  වෙන් කර ඇති  සම්පූර්ණ මුදල රුපියල් කෝටි එක්දහස් එකසියයකට අධික බවද  ප්‍රේමජයන්ත මහතා වැඩිදුරටත් පැවසීය.

පශ්චාත් උපාධිය හැදෑරීම අතරමඟ නතර කළ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ නාම ලේඛනය මෙහිදී අමාත්‍යවරයා සභාවට ඉදිරිපත් කළේය.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පශ්චාත් උපාධි පාඨමාලා අතරමඟ නතර කිරීමෙන්  විශාල මුදලක් රජයට අහිමි වී ඇතැයි තුෂාර ඉඳුනිල් මන්ත්‍රීවරයා ප්‍රශ්නය යොමු කරමින් පැවසුවේය.