(ජේ.කේ.එල්. චාමින්ද)
ගංවතුර ආපදා තත්ත්වය හමුවේ, සිවිල් වැසියන් මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා ධීවර බෝට්ටු වහාම යොමු කරන ලෙස අදාළ අංශ වලට දැනුම් දුන් බව ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පවසයි.
මෙම තීරණයෙන් අනතුරුව, ජාතික මුදාගැනීමේ මෙහෙයුමට සහාය වීම සඳහා, කොළඹින් බෝට්ටු 30ක්, මීගමුවෙන් 20ක් සහ අලුත්ගමින් 20ක් වහාම පිටත් කර හැරීමට ධීවර දෙපාර්තමේන්තුව මේවනවිට කටයුතු කර ඇති බවද නියෝජ්‍ය ඇමතිවරයා සදහන් කළේය.
ආපදා තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා ධීවර ක්ෂේත්‍රයේ දායකත්වය සම්බන්ධීකරණය කිරීමේ අරමුණින්, පැවති මාර්ගගත සාකච්ඡාවකදි මේ බව අදාළ අංශයේ වෙත දැනුම්දුන් බවද හෙතෙම පවසයි.
නියෝජ්‍ය ඇමතිවරයා මෙසේද කිවේය.
අවිස්සාවේල්ල, හලාවත සහ කෑගල්ල වැනි ගංවතුරෙන් දැඩි ලෙස පීඩාවට පත් ප්‍රදේශවල මුදාගැනීමේ මෙහෙයුම් සඳහා පවතින බෝට්ටු හිඟය පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමුකොට තියෙනවා.
අපේ ජනතාව අතරමං වෙලා. බෝට්ටු හිඟය බරපතල ගැටලුවක්. ඒ නිසා, ධීවර අමාත්‍යාංශය ලෙස අපි ඒ අඩුව පිරවීමට මැදිහත් වෙනවා, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් ඉල්ලීමක් කළ විගස, අවශ්‍ය බෝට්ටු ලබා දෙන ලෙස අපේ දිස්ත්‍රික් ධීවර සහකාර අධ්‍යක්ෂකවරුන්ට උපදෙස් ලබා දුන්නා. ශ්‍රි ලංකා නාවික හමුදාව එම බෝට්ටු ප්‍රවාහනය සහ මෙහෙයවීම සම්බන්ධීකරණය කර වේගවත් සහ සංවිධානාත්මක විපතට පත්වුවන් මුදාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කරනවා.
මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවති මෙම හදිසි හමුව සඳහා ධීවර අමාත්‍යාංශ ලේකම් ආචාර්ය බී. කේ. කෝලිත කමල් ජිනදාස, ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත යන මහත්වරුන් මේ සදහා එක්ව සිටියහ.

