විදුලි සෝපානය ඇල්පිටිය රෝහලේ සැත්කම් නවත්වයි


(චන්ද්‍රසිරි ගුණසේකර)

ඇල්පිටිය මූලික රෝහලේ විදුලි සෝපාන යන්ත්‍ර දෙකම  අක්‍රීය වීම නිසා අද (20) දිනට සිදුකිරීමට නියමිත ශෛල්‍ය කර්ම සියල්ලම කල්දැමූ බව ඇල්පිටිය මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී වෛද්‍ය දිමුතු අමරසිංහ මහතා පැවසීය.

මෙම රෝහලේ පිහිටි තෙමහල් ගොඩනැගිල්ලේ කාන්තා හා පිරිමි වාට්ටු පිහිටා ඇති අතර මෙම වාට්ටුවලට ඇතුලත් කරන රෝගින් මෙන්ම නියමිත ශෛල්‍යකර්ම සඳහා යොමුකරන රෝගින්ද එහා මෙහා රැගෙන යන්නේ මෙම විදුලි සෝපාන යන්ත්‍ර උපයෝගී කරගෙනය.

එහෙත් ඊයේ රාත්‍රි හිටිහැටියේ මෙම සෝපාන යන්ත්‍ර දෙකම ක්‍රියා විරහිතවීම නිසා රෝගීන් එහා මෙහා ගෙනයාම අපහසුවී තිබේ.

විශේෂයෙන් ශෛල්‍යකර්ම සඳහා ශෛල්‍යගාරයට රැගෙන යන රෝගීන් සිහිනැතිකිරීමෙන් පසු එහා මෙහා රැගෙන යා නොහැකි තත්ත්වයක් උදාවී ඇත.

මේ නිසා අද දින සිදුකිරීමට නියමිතව තිබූ සියලුම ශෛල්‍යකර්ම කල් තැබූ බව රෝහල් අධිකාරී වෛද්‍ය දිමුතු අමරසිංහ මහතා පැවසීය.
මේ පිළිබඳව අදාළ විදුලි සෝපාන සමාගමට දැනුම් දී ඇති අතර ඔවුන් ඉතා ඉක්මනින් මෙම යන්ත්‍ර දෙක යථා තත්ත්වයට පත්කර දෙනු ඇතැයි විශ්වාස කරන බවද වෛද්‍ය දිමුතු අමරසිංහ මහතා පැවසීය.
මෙම විදුලි සෝපාන යන්ත්‍ර දෙකේ නඩත්තු කටයුතු මෙතෙක් කිසිදු අඩුවකින් තොරව එම සමාගම සිදුකරගෙන ආ බවද රෝහල් අධිකාරිවරයා පැවසීය.