විද්‍යා තාක්ෂණ දියුණුවට උපරිම සහය දෙනවා


(අංජුල මහික වීරරත්න)

රටේ තිරසාර අනාගතය හැඩගස්වන අත්‍යවශ්‍ය බලවේගය වන විද්‍යාව හා තාක්‍ෂණය සඳහා රජයේ සහයෝගය වැඩි කිරීමට සැලකිය යුතු පියවර ගන්නා බව  විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන පැවසීය.

විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික විද්‍යා පදනම විසින් නොවැම්බර් 10 වන දිනට යෙදෙන ලෝක විද්‍යා දිනයට සමගාමීව සංවිධානය කළ "තිරසර සංවර්ධනය සඳහා සොබා දහමෙන් ආභාෂය ලැබූ තාක්ෂණය"තේමා කර ගනිමින් කොළඹ විශ්ව විද්‍යාලයීය වෛද්‍ය පීඨයේ දී  පැවති විද්‍යාව ප්‍රචලිත කිරීම සඳහා වන සම්මාන ප්‍රදානෝත්සවයේ  ප්‍රධාන  ආරාධිතයා ලෙස එක් වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

ජාතික මට්ටමින් පැවැත්වූ විද්‍යා තරඟාවලියේ දී පාසැල් සිසු සිසුවියන් දැක්වූ විශිෂ්ඨත්වය සහ විද්‍යාව ප්‍රචලිත කිරීම වෙනුවෙන් ගුරු භවතුන්ගේ කැපී පෙනෙන දායකත්වය  අගයමින්, විද්‍යා පර්යේෂණ ව්‍යාපෘති තරඟය - 2024 ,ළමා පරිසරවේදියා වැඩ සටහන- 2024, පාසැල් විද්‍යා තරඟ 2025, විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා ගුරුවරුන් වෙත ජීවිතයේ එක් වරක්  පිදෙන සම්මානය ඇතුළු ඇගයීම් සම්මාන - 2025, ජාතික විද්‍යා පදනම සමග සම්බන්ධ ක්‍රියාකාරී පාසල් විද්‍යා සමාජවල තරුශ්‍රේණි ගත කිරීම - 2025  යන තරඟ කාණ්ඩ යටතේ මෙහි දී සම්මාන පිරිනැමිණි.