වැඩිහිටි ආරෝවෙන් මල්වතු ඔයේ සැඟවුණ මල් කැකුළු


(බී. ජී. චතුරංග )

මව සමඟ මල්වතු ඔයට වැටුණු දරුවන් දෙදෙනාගෙන් දියණියගේ සිරුර ද සොයාගත් බව පොලිසිය කියයි.

සැඩ පහරට ගසා ගෙන ගොස්  අතුරුදන්ව සිටි දරු දෙදෙනාගෙන්  ගැහැණු දරුවාගේ සිරුරත්  අනුරාධපුර 'මල් අතු ඔය ලේන්' මාර්ගයට පිවිසෙන අලුත් පාලම අසල තිබී සොයා ගත් බව අනුරාධපුර පොලිස් ජීවිතාරක්ෂක ඒකකය පවසයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව සිටියදී සොයා ගනු ලැබුවේ,   අඟුලාන මොරටුව ප්‍රදේශයේ පදිංචි සිටි සිතුල්යා  මීරියගල්ල දැරියගේ සිරුරයි.

එම දැරියගේ එකම සොහොයුරා වන  තිෂුක මීරියගල්ල නැමති 8 හැවිරිදි  පිරිමි දරුවාගේ සිරුර අතුරුදන් වී දින තුනකට පසු, ඉකුත්  4 වන දින අනුරාධපුර මිහිඳුපුර ප්‍රදේශයේ සොයා ගනු ලැබීය.

දැරියගේ සිරුර සොයා ගන්නා අවස්ථාවේදී ඇගේ වම් අත සහ වම් කකුල නොතිබූ අතර එය කිඹුලන් හෝ කබරයන් විසින් කා දමන්නට ඇති බවට සැක කරන බවද පොලිසිය සඳහන් කළේය.

මීට දින හතකට පෙර ඉකුත් 2දා මොරටුව අගුලාන ප්‍රදේශයේ පදිංචි   40 හැවිරිදි දෙදරු මවක්,  වයස අවුරුදු අටක් වන ඇගේ පිරිමි දරුවා සහ වයස අවුරුදු හතර හමාරක ගැහැණු දරුවා සමඟ අනුරාධපුරයට පැමිණ, අනුරාධපුර බණ්ඩාරනායක මාවතේ පිහිටි  මිහිඳුපුර පාලම අසලින්  මල්වතු ඔයට පැන තිබූ බව පොලිසිය සඳහන් කළේය.