ව්‍යසන කළමනාකරණය ජාතික සභාව වසර 7කට පසු රැස් වෙයි


(අංජුල මහික වීරරත්න)
ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාවේ 14 වන සභා වාරය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී අද (06) පස්වරුවේ පැවැත්විණි.
 
ව්‍යසන කළමනාකරණ සඳහා වූ ජාතික සභාව මෙවර  රැස්වන්නේ  වසර 07කට පසුව වීම විශේෂත්වයකි.
 
2004 වසරේ දී ඇති වූ සුනාමි ව්‍යසනයත් සමඟ ආපදා කළමනාකරණය පිළිබදව ඇතිවූ ජාතික අවශ්‍යතාවය මත 2005 අංක 13 දරණ ආපදා කළමනාකරණ පනතට අනුව ව්‍යසන කළමනාකරණ ජාතික සභාව ස්ථාපිත කර ඇත. මෙම සභාව අවසන් වරට  රැස්ව තිබෙන්නේ 2018 වසරේ අප්‍රේල් මස 5 වැනිදා ය.
 
ආපදා කළමනාකරණය වෙනුවෙන් වගකිව යුතු සියලු ආයතන වෙත පැවරී ඇති කාර්යභාරය නිසි පරිදි අධීක්ෂණය කරමින් ආපදා අවදානම අවම කිරීමත් ඒ වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිපත්තිමය තීරණ ගනිමින් මගපෙන්වීමත් මෙම සභාව මඟින් සිදු කිරීමට නියමිතය.