ව්‍යවසායක ගැටළු විසඳන්න පාර්ලිමේන්තු කමිටුවක් පත් කරන්න


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ මූලික ගැටලු විසඳීම සඳහා පාර්ලිමේන්තු කමිටුවක් පත්කරන ලෙස සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ව්‍යවසායකයන්ගේ  ප්‍රශ්න විසඳීම සඳහා පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ එකතු වී කටයුතු කළ යුතුව තිබෙන බවද හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේය.

කුඩා ආයතන වලට පවා 30% ක බද්දක් ගහන බව කී හර්ෂ ද සිල්වා මහතා  මේවා ගෙවන්නේ කොහොමදැයි ප්‍රශ්න කළේය.

සමහර අමුද්‍රව්‍ය ආනයනය  තහනම් කර තිබෙන හෙයින් ව්‍යවසායකයින් දැඩි අසීරුතාවයකට මුහුණ දී සිටින බවද හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේය.

කුඩා හා මධ්‍ය පරිමාණ පරිමාණ ව්‍යවසායකයන් ලයිට් බිල වැඩිවීම දරා ගන්නේ කෙසේදැයි හර්ෂ ද සිල්වා මහතා ප්‍රශ්න කළේය.

“කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාර ඇතුළු ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රය මුහුණ පාන ගැටලු” පිළිබඳ සභාව කල්තැබීමේ යෝජනාව ඉදිරිපත් කරමින් හර්ෂ ද සිල්වා මහතා මේ බව කීය.