වරඳපිළිගත් හිටපු නාවික සෙබළාට මාස හයක අත්හිටවූ සිරදඬුවමක්


(රෝෂන් තුෂාර)

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නාවික සෙබලියන් දෙදෙනෙකුගේ ජංගම දුරකථන වලට අසභ්‍ය වීඩියෝ පට යොමු කර ලිංගික හිංසන සිදු කිරීමේ චෝදනාවට වරද පිළිගත් හිටපු නාවික  සෙබළෙකුට වසර පහකට අත්හිට වූ මාස හයක සිර දඬුවමක්  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය නියම කළාය.

නාවික හමුදාවේ හිටපු සෙබළෙකු වන සුරේෂ් ලක්මාල් වික්‍රමසේකර නමැති පුද්ගලයකුට මෙසේ සිරදඬුවම් නියම කළ මහේස්ත්‍රාත්වරිය අගතියට පත් සෙබලියන් දෙදෙනාට රුපියල් 50000 බැගින් වන්දි ගෙවන ලෙසට නියෝග කළාය.
අසභ්‍ය වීඩියෝ පට සිය ජංගම දුරකථනයේ ගබඩාකර තබා ගැනීම, එම වීඩියෝ පට ප්‍රචාරය කිරීම, එමගින් ලිංගික හිංසනයන් සිදු කිරීම ඇතුළු චෝදනා තුනක් යටතේ රහස් පොලිසිය මගින් මෙම පැමිණිල්ල ගොනුකර තිබිණි.

දෙවන හා තෙවන චෝදනාවන්ට රුපියල් 2500 බැගින්  දඩ නියම කළ මහේස්ත්‍රාත්වරි එම දඩ මුදල් නොගෙවන්නේ නම්  වසර එක බැගින් සිර දඬුවම් ලබා දෙන ලෙසටද නියෝග කළාය.

නාවික හමුදාවේ ලුතිනන්වරියක් හා බලනැවි තනතුර දරන කාන්තාවක් අපරාධ පරීක්‍ෂණදෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය වෙත කරන ලද පැමිණිලි දෙකක් අනුව මෙම නඩු පවරා තිබුණි.