ලිත්‍රෝ ගෑස් සමාගම හඳුන්වා දුන් ප්‍රිමියම් සිලින්ඩරයේ ප්‍රමිතිය ගැන හොයන් බාරදුන්නා


(මුදිතා දයානන්ද)

ලිත්‍රෝ ගෑස් සමාගම හඳුන්වා දුන් කිලෝ නවයේ (ලීටර් 18) ප්‍රිමියම් සිලින්ඩරයේ ප්‍රමිතිය සම්බන්ධයෙන් පරීක්ෂා කිරිම සඳහා රජයේ ආයතන දෙකකට භාරදී ඇති බවද ඒ සම්බන්ධ වාර්තාව ලැබුණ වහා එය අලෙවියට අවසර දීම සම්බන්ධයෙන් තීන්දුවක් ගනු ලබන බවද සමූපකාර අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

මෙම වාර්තාව 29 වැනිදා වන විට ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බවද අලගියවන්න මහතා කියයි.

නව නිෂ්පාදන හඳුන්වාදීමේ අයිතියක් නිෂ්පාදන සමාගම් සතුව ඇති බවද ඒ අනුව නව ප්‍රිමියම් ගෑස් සිලින්ඩරය වෙළඳපොළට හඳුන්වාදීම සම්බන්ධයෙන් විරෝධයක් දැක්විය නොහැකි බවද එහෙත් එයින් පාරිබෝගිකයාට යම් ගැටලුවක් මතුවන්නේ නම් ඒ ගැන සොයා බැලීම තමන්ගේ වගකීමක් බව පිළිගන්නා බවද ඔහු පැවසීය.

ඒ අනුව නව ගෑස් සිලින්ඩරයට අඩු ලීටර් ප්‍රමාණයකට වැඩි මිලක් ගෙවීමට පාරිභෝගිකයාට සිදුව ඇති බව බැලු බැල්මටම වැටහෙන බවද ඒ නිසා අදාළ සමාගමේ නිලධාරීන් සමග ඒ පිළිබඳව සාකච්ඡා කළ බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

නව ගෑස් සිලින්ඩරයේ ගෑස් කිලෝ ප්‍රමාණය අඩුවී තිබුණද එහි ගුණාත්මක බව ඉහළ නංවා ඇති බවට සමාගම එම සාකච්ඡාවේදී කරුණු දක්වමින් සඳහන් කළ බවද අලගියවන්න මහතා පැවසීය.

සමාගම සඳහන් කළ කාරණාව සම්බන්ධයෙන් තාක්ෂණික වශයෙන් පරීක්ෂා කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස රජයේ ආයතන දෙකකට භාරදී ඇති බවද එම වාර්තා අනුව ඉදිරි පියවර ගන්නා බවද ඔහු පැවසීය.

කුමන තත්ත්වයක් යටතේ හෝ ගෑස් මිල වැඩිකිරිමක් සිදුනොකරන බවද ගෑස් හිඟයක් ඇති වීමට ඉඩ නොතබන බවද අලගියවන්න මහතා ලෝක වෙළඳපොළේ ගෑස් මිල වැඩිවීම නිසා සමාගම් මුහුණ දී ඇති ප්‍රශ්නයද සළකා බලා ජනතාවට ගැටලුවක් නොවන සාධාරණ පිළියමක් යොදන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.