ලාංකික තරුණයින් දහසකට ජපානයේ රැකියා දොර ඇරෙයි


(අංජුල මහික වීරරත්න)

මෙරට තරුණ තරුණයින් දහසකට ජපානයේ  කෘෂිකාර්මික ගොවිපොළ වල රැකියා අවස්ථා ලබා දීමට ජපාන රජය එකඟ වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

මීට අදාළ අවබෝධතා ගිවිසුම ඉදිරි දෙසතිය තුළ අත්සන් කිරීමට සූදානම් කරන බව අද (15) පෙරවරුවේ සූම් තාක්ෂණය ඔස්සේ කෘෂිකර්ම අමාත්‍යාංශය සමඟ සාකච්ඡාවකට සම්බන්ධ වූ  ජපානයේ ශ්‍රී ලංකා තානාපති ගුණසේකර මහතා සඳහන් කළේය.

මෙම සූම්  සාකච්ඡාවට එක්වෙමින්  කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කීවෙි ශ්‍රී ලංකාවේ තරුණ පිරිසකට ජපානයේ රැකියා අවස්ථා දහසක් ලබා දීමට මැදිහත් වීම සම්බන්ධයෙන් ජපානයේ ශ්‍රී ලංකා තානාපතිවරයාට කෘතඥතාව පළ කරන බවයි. මෙම රැකියා අවස්ථා සඳහා තෝරා ගනු  ලබන තරුණ පිරිසට විදේශ සේවා නියූක්ති කාර්යාංශය සමඟ එක්ව අවශ්‍ය භාෂා පුහුණුව හා අදාළ  වෙනත්  පුහුණු අවශ්‍යතා සපුරා දිය හැකි බව ද අමාත්‍යවරයා කිවේය.

මෙම  සූම් සාකච්ඡාවට ජපානයේ ගොවිපොළ  හිමිකරුවන් සමඟ කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීහුද සහභාගී  වූහ.