ලං.වි.ම ලොක්කෙක් ගැන පරීක්‍ෂණයක්


(යොහාන් භාසුර)

ලංකා විදුලිබල මණ්ඩලයේ අතිරේක සමාන්‍යාධිකාරිවරයෙක්ට එල්ල වී ඇති මූල්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව එම මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය.

විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ උසස් තනතුරක වසර 10 කට අධික කාලයක් කටයුතු කර ඇතැයි කියන අදාල නිලධාරියා එම සේවය සඳහා පුර්ණ කාලීනව විදුලිබල මණ්ඩල සේවයෙන් මුදාහැර සිටියදී විදුලිබල මණ්ඩලයෙන් අඛණ්ඩව වැටුප් සහ දීමනා ලබාගෙන ඇති බවට සහ විදුලිබල මණ්ඩලයේ වැටුප් වැඩිකිරීම් ද ලබාගෙන ඇති බවට චෝදනා එල්ල වී ඇති බව වාර්තා වේ.  

අදාල නිලධාරියාට විදුලිබල මණ්ඩලයෙන් ලැබූ වැටුප් සහ දීමනාවලට අමතරව රජයේ ඒකාබද්ධ අරමුදලේ ප්‍රතිපාදනවලින් සියයට  25 ක දීමනාවක් ද සේවය කළ කාලය තුළ විදුලිබල අමාත්‍යාංශය ගෙවා ඇති බවත් අදාල නිලධාරියා මීට වසරකට පමණ පෙර නැවත විදුලිබල මණ්ඩලයේ සේවයට අනියුක්ත කර ඇති බවත් කියවේ.

ඉදිරි සති කීපයේදී විශ්‍රාම යෑමට නියමිත අදාල නිලධාරියා විශ්‍රාම යන දින තෙක් පෞද්ගලික නිවාඩු ඉල්ලුම් කර ඇති බවත් ඔහු මේ වන විට විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකිරීමේ ව්‍යාපෘතියට ද සම්බන්ධව කටයුතු කරන බවත් ආරංචි මාර්ග සදඟන් කරයි.