රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්ට නියෝගයක්


(නිමන්ති රණසිංහ)

පොලිස්පතිවරයා විසින් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතියකින් තොරව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කර යවනු ලැබ බලතල ඉක්මවා කටයුතු කිරීම සම්බන්ධයෙන් දින තුනක් තුළ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට එම කොමිෂන් සභාව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ඊයේ (31) නියෝග කර ඇත.

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් එම්. ඒ.බී. දයා සෙනරත් මහතා විසින් මෙම නියෝගය ලිඛිතව නිකුත් කර ඇත්තේ මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා වෙතය.

ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ස්ථාන මාරු කිරීම් සිදුකල යුත්තේ රාජ්‍ය සේවා කොමිසම් සභාවේ අනුමැතියකින් පසුව බවත්, පොලිස්පතිවරයා විසින් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ බලතල ඉක්මවා කටයුතු කරමින් මෙම ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනා ස්ථාන මාරු කිරීම් කර ඇත්තේ කෙසේදැයි යන්න අදාල වාර්තාවෙන් දැක්විය යුතු බවට එම කොමිසම මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට නියම කර ඇත.

ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ ස්ථාන මාරු කිරීම් සම්බන්ධ වන බලතල 2020 නොවැම්බර් මස 20 දිනැති අංක 2202/24 දරණ අති විශේෂ අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් කොමිෂන් සභාවට පවරා දී ඇති බවද එම ලිපියේ සඳහන් වෙයි.

එම ගැසට් පත්‍රයෙන් කොමිසන් සභාවට පවරා ඇති බලතල උල්ලංඝනය කරමින් පොලිස්පතිවරයා විසින් එකී ස්ථාන මාරු කිරීම් සිදුකර ඇතැයි ද එම ලිපියේ සඳහන් වෙයි.

ඒ අනුව, අදාළ තොරතුරු ඇතුළත් වාර්තාව ලබන 03 වැනිදාට පෙර තමන්ට ලබාදෙන ලෙසට කොමිෂන් සභාවේ ලේකම්වරයා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දී ඇත.

සේවයේ අවශ්‍යතාවය මත යැයි සඳහන් කරමින් පොලිස්පතිවරයා විසින් ඉකුත් 27 වැනිදා ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකු ස්ථාන මාරු කිරීම් සිදුකරනු ලැබ තිබිණි .

ඒ අනුව එලෙස ස්ථාන මාරු කිරීම් කරනු ලැබුවේ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන එම්. ඩී. ආර්. දමින්ද, කේ. ඒ.රෝහන සහ වැඩබලන ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එල්. කේ ඩබ්ලිව්.  ඒ  සිල්වා යන මහත්වරුන්ය .