රාජ්‍ය සේවයන්ට පෞද්ගලික රැකියා වරම් ළඟදීම


(ඩයනා උදයංගනී සහ යොහාන් භාසුර)

රාජ්‍ය නිධාරීන්ට පෞද්ගලික අංශයේ  සේවය කිරීමට වසර 5ක වැටුප් රහිත දේශීය නිවාඩු ලබා දිය හැකි ද යන්න සොයා බැලීමට විශේෂ කමිටුවක් පත් කළ බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එම් .එම් .පී කේ  මායාදුන්නේ මහතා පැවසීය.

එහි වාර්තාව සති දෙකක් ඇතුළත රාජ්‍ය පරිපාලන,  ස්වදේශ කටයුතු,  පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය  දිනේෂ් ගුණවර්ධන මහතා වෙත භාර දී අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීමට නියමිත බව ලේකම්වරයා සඳහන් කළේය.

මෙම කමිටුවේ සභාපති ලෙස අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් එම්.එන් රණසිංහ මහතා පත්කර ඇති අතර පරිසර අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ, අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශ ලේකම් වසන්ත පෙරේරා,  සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් එස් එස්. චන්ද්‍රගුප්තා, ලංකා වාණිජ මණ්ඩලයේ මහලේකම් මංජුල ද සිල්වා, ලංකා සේවා නියෝජිතයන්ගේ සම්මේලනයේ අධ්‍යක්ෂ ජනරාල්( වැ.බ) වජිර ඇල්ලෙපොල යන මහත්ම මහත්මීන් මෙහි සෙසු සාමාජිකයන් වන අතර කළමණාකාර සේවා අධ්‍යක්ෂ ජනරාල් හෝ  මුදල් අමාත්‍යංශයේ නියෝජිතයකු ද මෙයට ඇතුළත් වේ.

ජ්‍යෙෂ්ඨත්වයට හා විශ්‍රාම වැටුපට හානි නොවන පරිදි රාජ්‍ය නිලධාරීන් වැටුප් රහිත වසර 5ක විදේශ නිවාඩු ලබා දීමට වන චක්‍ර‍ලේඛයක්  රාජ්‍ය පරිපාලන ,ස්වදේශ කටයුතු,  පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් එම්.එම්. පී. කේ මායාදුන්නේ මහතා ඉකුත් දා නිකුත් කළේය.