රාගම තරුණයෝ පිරිසක් වගා සංග්‍රාමයක් අරඹති


(ඩයනා උදයංගනී සහ නිපුන් ගරුක)

දිනෙන් දින උග්‍ර වන ආර්ථික අර්බුදය හමුවේ, තමන්ට අවශ්‍ය ආහාර තමන් විසින්ම නිපදවා ගැනීමේ වගා සංග්‍රාමයක් ‘ත්‍රෛලෝ ත්‍රිවිධ පෙරමුණ’ මගින් ආරම්භ කර ඇත.

ආහාර අර්බුදයක් මතුවිය හැකි බව කල් තබාම අවබෝධ කරගත් ‘ත්‍රෛලෝ ත්‍රිවිධ පෙරමුණේ  සභාපති කායවර්ධන සහ යෝගා උපදේශක  සංජය දිසානායක ඇතුළු පිරිස අනුරාධපුර පලුගොල්ලෑව වැව ආසන්නයේ ඇති කුඹුරු කොටසක් ද ඇතුළු අක්කර හය හමාරක පමණ ඉඩමක් මිලට ගෙන එම සැලසුම ක්‍රියාත්මක කළහ.

ආහාර, ඖෂධ ඇතුළු මූලික අවශ්‍යතා සපුරා ගැනීම දිනෙන් දින අභියෝගයක් වෙමින් පවතින වර්තමානයේදී නිෂ්පාදන ආර්ථිකයක් කෙරෙහි වැඩි වශයෙන් කතාබහට ලක්වන අතර, පවතින තත්වය අනුව තමන්ට අවශ්‍ය දෑ හැකි තාක් තමන්ම නිෂ්පාදනය කරගැනීම සුදුසු බව බොහෝ දෙනාගේ මතයකි.

මේ වන විට ඔවුන් සිය වගා බිමෙහි වී, මිරිස්, තක්කාලි, කහ, එළවළු වර්ග ආදී එදිනෙදා නිවසට අවශ්‍ය බොහෝ ආහාර බෝග වගා කර ඇති බව එම පෙරමුණෙහි ලේකම්  තරිඳු මැන්දිස් මහතා පැවසීය. මෙය කාබනික වගාවක් ලෙස පවත්වාගෙන යාම විශේෂත්වයකි.

ඉදිරියේදී මෙහි කිරිගවයින්, කිකිළියන් ආදී සතුන් ද ඇතිකරමින් කිරි බිත්තර ආදියද නිෂ්පාදනය කිරීමට සැලසුම් කර ඇතැයි ඔහු සඳහන් කළේය.

නිවසේ මල් පෝච්චියක හෝ එළවළු පැළ කිහිපයක්, මිරිස් පැළයක්, කහ, ඉඟුරු පැළ කිහිපයක්, පළා වර්ගයක් වගා කර ගැනීමට බොහෝ දෙනෙක් පෙළබී සිටිති.  

නගරබද විවිධ වෘත්තීන්හි නිරත වන මෙම පිරිස අනුරාධපුරයට ගොස් වගා කටයුතුවල ඉතා සාර්තකව යෙදෙති. 

පෞද්ගලික අංශයේ කළමනාකරුවන් ඡායාරූප ශිල්පීන් හා ජ්‍යෙතිෂවේදින් හා විශ්ව විද්‍යාල සිසුන් ඇතුළු තරුණ  පිරිසක් මෙම කාර්යෙහි නිරතව සිටිති.  

සරල, සුවදායී, නිරෝගී දිවියක් උදා කර ගැනීම සඳහා මෙම ව්‍යාපෘතියට එක්වන අයගේ නිවෙස්වලට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය වස විසෙන් තොරව හා පහසුවෙන් සපයා ගැනීම මෙම පෙරමුණෙහි අරමුණ වී තිබේ‍ෙ

වසර ගණනාවක් තිස්සේ අප විසින් සිදුකරන ලද පර්යේෂණවලින් සාර්ථක ප්‍රතිඵල ලැබීමෙන් පසුව මෙම ව්‍යාපෘතිය ආරම්භ කළ බව කී මැන්දිස් මහතා මෙහිදී නිශ්පාදනය කෙරෙන සියලු දෑ සාමාජිකයන් අතර බෙදාගන්නා බව ද කීවේය.

මෙම ක්‍රියාවලියට දැනට 15 දෙනකු පමණ මේ සඳහා සම්බන්ධ වී සිටින බවත්,  ඉදිරියේදී තවත් පුළුල් කිරීම තම සංවිධානයේ අරමුණ බවත් ද තරිඳු මැන්දිස් මහතා ප්‍රකාශ කළේය.

ආහාරපාන සපයාගැනීම සම්බන්ධයෙන් ඇතිවන මානසික පීඩනය අවම වීම, වැඩ කළයුතු කාලය අවම වීම තුළින් වෙනත් හැකියාවක් හා කුසලතාවයක් වර්ධනය කරගැනීමට කාලය ඉතිරිවීම, ආහාරපාන සඳහා වන වියදම අවම වීම නිසා ඉතිරි වන මුදල් ඵලදායි මාර්ගයක ආයෝජනය කළ හැකි වීම, රටේ දළ දේශීය නිශ්පාදිතය ඉහළ යාම, රැකියා අවස්ථා බිහිවීම හා තාරුණ්‍යයට වෘත්තිය පුහුණුවක් ලැබීම, විදේශ සංචිත රට තුළ ඉතිරිවීම, රට ස්වයංපෝෂිත වීම ආදී බොහෝ වාසි මෙවැනි ව්‍යාපෘති හරහා ලැබෙන බව ද ඔහු පැවසීය.

මෙම ව්‍යාපෘතියට ඕනෑම අයකු දායකවිය හැකි බව ද  එම සංවිධානය කියයි.

යෝගා අභ්‍යාසවල පුරුදු පුහුණු කරන අවස්ථාවක්