රතුකුරුසේ අංකයට ධාවනය කළ ජිප් රථයක් අල්ලයි


(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සුමිත් පොතුපිටිය)

රතු කුරුස සංවිධානයට අයත් වාහනයක ලියා පදිංචි අංක තහඩු සවි කරන ලද රුපියල් ලක්ෂ 80ක් පමණ වටිනා ලෑන්ඩ් කුශර් වර්ගයේ ජීප් රථයක් ව්‍යාපාරිකයෙකු ගේ නිවසකින් සොයාගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක ඒකකය කියයි.

නීතිවිරෝධී අයුරින් මෙරටට ආනයනය කර කර කූඨ ලේඛන සකස් කළ සුඛෝපභෝගී ජීප් රථයක් ගොවි පොළක් හිමි බියගම ව්‍යාපාරිකයකු පරිහරණය කරන බවට පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බලකායේ අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරී උදය කුමාර මහතාට ලද තොරතුරකට අනුව ප්‍රධාන පොලිස් පරීක්ෂක මහේන්ද්‍ර පෙරේරා මහතා ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායමක් වැටලීම සිදුකර ඇත.

ජීප් රථයේ එන්ජිම හා චැසි අංක පරික්ෂා කිරීමේදී ඒවා ව්‍යාජ ලෙස කොටා ඇති බවට අනාවරණය වීමෙන් අනතුරුව ජිප් රථයේ වර්තමාන හිමිකරු වන ව්‍යාපාරිකයා ගෙන් ඊට අදාළ ලිපි ලේඛන ඉල්ලා සිටීමේ දී ඔහු සතුව කිසිදු ලිපි ලේඛනයක් නොතිබූ බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ව්‍යාපාරිකයාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී කඩවත ප්‍රදේශයේ පුද්ගලයකුගෙන් ජිප් රථයට අදාළ ලිපි ලේඛන ලබාදීමේ පොරොන්දුව මත මාස 8 කට පමණ පෙර රුපියල් ලක්ෂ 50 ක මුදලකට මිලදී ගත් බවට ප්‍රකාශ කර ඇත.