(නිමල කොඩිතුවක්කු)
රට සම්පූර්ණම විනාශ වීමට කලින් සර්වපාක්ෂික කෙටිකාලීන අන්තර් පාලනයකට රට බාර දෙන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කොළඹදී පැවසීය.
තවදුරටත් කල් මැරීමෙන් විසදුමක් නොලැබෙන බව ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය වහාම තේරුම් ගත යුතුව ඇතැයි ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ භාණ්ඩාගාරික පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා තවදුරටත් මෙසේ ද කීවේය.
"ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයට තවදුරටත් රට කරගෙන යන්න හැකියාවක් නැති බව දැන් මුළු සමාජයටම පැහැදිලි වෙලා තියෙනවා. ඒ නිසා සමාජය දැන් ඉල්ලන්නේ කරුණාකරලා තනතුරෙන් ඉවත් වෙලා සර්වපාක්ෂික ආණ්ඩුවක් හදලා රට ගොඩ ගන්න අවස්ථාවක් ලබා දෙන්න කියලා. මෙය කාලයක් තිස්සේ රටේ ජනතාවගේ ඉල්ලීම වුණාට රාජපක්ෂ පවුලට බලය අතහැරල යන්න බැරි කමක් තියෙන නිසා එය සිදු වුණේ නැහැ.
මේ ප්‍රශ්නයෙන් ගොඩ එන්න නම් අපි ජාත්‍යන්තර වෙළෙඳ සහ අයෝජන ප්‍රතිපත්ති සංස්කරණය කළ යුතුයි. අපි ආයෝජන ගෙනල්ලා ඒ ආයෝජන ජාත්‍යන්තර වෙළෙඳ පොළේ ඉල්ලුමට සරිලන නිෂ්පාදනය කරන දේවල් වලට ආයෝජනය කරන්න ඕන. එහෙම නැතිව කොච්චර ගොඩනැගිලි හැදුවත් වැඩක් නැහැ. එහිදී ත්‍රී විලර් පෝලිමේ ඉන්න අය රුපියල් උපයනවා වෙනුවට ඩොලර් උපයන්න හැකියාවක් ලැබෙනවා. එම යෝජනාව මම ඉදිරිපත් කලත් ඔහු සමග ඉන්න කණ්ඩායම කැමති වෙයිද යන්න ප්‍රශ්නයක් තියෙනවා. මොකද සිංගප්පුරු වෙලද ගිවිසුමට එරහිව දැඩිව මා සමග තර්ක කරපු අය තමයි අගමැතිතුමාගේ ළඟ එදා හිටියේ.
මෙතන විසඳුමක් නැත්නම් අන්තර්කාලීන සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදලා 2023 මාර්තු මාසේ ඡන්දයකට යන්න පුළුවන්. එතනින් වත් විසදුමක් මේකට ලබාගන්න පුළුවන් නම් ජන මතයට අනුව ආණ්ඩුවක් හදාගන්න මැතිවරණයකට යන්න පුළුවන්. සමහරු කියනවා ඡන්දයකට මුදල් පිළිබඳව ගැටලුවක් තියෙනවා කියලා අකුරේගොඩ ඩිෆෙන්ස් එකට මේ අවුරුද්දේ බිල්ඩින් එකට විතරක් රුපියල් බිලියන 12 ක් වියදම් කරනවා නම් ඡන්දෙකට යන්න බැරි කමක් නැහැ. අපි හිර වෙලා ඉන්න මේ හිර විල්ලෙන් ගොඩ එන්න ක්‍රමයක් ඇත්තේම නැත්නම් අවසානය විකල්පය හැටියට ඡන්දයකට යන්න පුළුවන්. එයට යන වියදම පිළිබඳව සමහරුන්ගේ වැරදි මතයක් සමාජගත වෙලා තියෙන්නේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඇතුළු රජය සම්පූර්ණම අසාර්ථකයි.