යූ.එන්.පී. විරෝධී අරගලය බිඳවැටුණේ ද්‍රවිඩ සන්ධානයට එකඟ නොවූ නිසයි


(අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර)

මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පත් වු මොහොතේ  වර්තමානයේදී එක්සත් ජාතික පක්ෂය හා එක්ව සිටින ද්‍රවිඩ ජාතික සංන්ධානයේ ඉල්ලීම්වලට මහින්ද රාජපක්ෂ මහතා එකඟ වුයේ නම්  අද පවතින්නේ මහින්ද රාජපක්ෂ රජයක් බව   එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ටී.රංජිත් සොයිසා මහතා අද (16)   පැවසීය.


ඇඹිලිපිටියේ පැවති මාධ්‍ය හමුවකදී  මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය. 

 

එමෙන්ම තම කණ්ඩායම පටන් ගත් යුඑන්පී හා යහපාලන විරෝධි  අරගලය පසුබැසීමකට ලක්වුයේ  උපාය මාර්ගික ක්‍රමවේද තුළ තිබු  වැරදි සහගත ස්වභාවය නිසා යැයි ද හෙතෙම පැවසීය.  

 

මෙම පුවත් පත් සාකච්ඡාවේදී වැඩිදුරටත් අදහස් දක්වමින් කතා කළ ටී.රංජිත් සොයිසා මහතා මෙසේ ද කීය. 

 

විශාල ජනවරමකින් ජනපති වූ මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සහ රනිල් වික‍්‍රමසිංහ මහතා අතර වසර තුනකින් පමණ පසු ඇතිවු විරසකය තුළින් රනිල් මහත්තයාට කිසිදු නායකයෙක් සමඟ එකට වැඩ කළ නොහැකි බවට පෙනෙනවා. කලින් චන්‍ද්‍රිකා මැතිණිය සමඟත් වුණේ ඒකමයි. 

 

මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට රනිල් වික‍්‍රමසිංහ මහතාගේ රජය එපා වුණේ ඇයි කියලා එක්සත් ජාතික පාක්‍ෂිකයන් තමන්ගේ හදවතින් විමසලා බලන්න කියලා අපි ඉල්ලා සිටිනවා.

 

“අද එක්සත් ජාතික පක්‍ෂය සමඟ එක්වෙලා තියන ද්‍රවිඩ සන්ධානය  මහින්ද මහත්මයා අගමැති වුණ වෙලාවේ  රාජපක්ෂ මහතාගේ විජේරාමේ පිහිටි  නිවසේදී  වෙලාවේ සහය දෙන්න නම්  කියා කොන්දේසි පහක් ඉදිරිපත් කළා. මෙන්න ඒ කොන්දේසි.“

 

1. ආරක්‍ෂක හමුදාව යාපනයෙන් ඉවත්කිරිම
2. යාපනයේ හමුදා කඳවුරු ඉවත් කිරිම
3. හිර දඬුවම් ලැබූ එල්ටීටිඊ සාමාජිකයන් නිදහස් කිරිම
4. ෆෙඩරල් රාජ්‍යයක් ප‍්‍රකාශයට පත් කිරිම
5. ඒ සඳහා නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්මත කිරිම

 

“ඒ  වෙලාවේ දි බලයට තියන කෑදරකම නිසා ඒවාට එකඟ වුණානම් අද තියෙන්නේ 125ට එහාගිය බලයක් ඇති මහින්ද රාජපක්‍ෂ රජයක්. “

 

“ඒවගේම රටට වින කරපු, ජනතාවගෙන් ප‍්‍රතික්‍ෂෙප වු පුද්ගලයන් ඇවිත් මුදල් ඇමතිකම, සෞඛ්‍ය ඇමතිකම, බස්නාහිර පළාත් සංවර්ධන ඇමතිකම ඉල්ලන වෙලාවෙ දුන්නනම් ඒත් අද තියෙන්නේ 125ට එහා ගිය මහින්ද රාජපක්‍ෂ රජයක්“  යයිද රංජිත් සොයිසා මහතා පැවසීය.