යාන්ඔයේ ජලය යට සැඟවුණු තවත් ගිනිඅවි සොයා ගනී


පැතුම් දර්ශන සහ දයාරත්න ඇඹෝගම
  
යාන්ඔයේ ජලය යට සැඟව තිබූ තවත් ගිනිඅවි අමතර කොටස් සහ උණ්ඩ රැසක් සොයා ගැනීමට නාවික හමුදා කිමිදුම් භටයෝ සමත්වුහ.

හොරොව්පොතාන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රොෂාන් සංජීව මහතා විසින් කළ ඉල්ලීමකට අනුව තලෛයි මන්නාරම නාවික හමුදා කඳවුරේ ලුතිතන් (මැරින්) ආර්.පී.බී.රාජරත්න මහතා ඇතුළු අට දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් මෙම මෙහෙයුම සිදුකෙරිණි.
  
එහිදී ටී-56 උණ්ඩ 976ක්, ටොම්බා බෝම්බ 2ක් ,ඩෙටනෙටර් 14ක්, හඳුනා නොගත් පතොරම් ගැබ් 2 ක්, එල්.එම්.ජි. පතුරම් රහිත වැල් 3 ක්, සොයාගෙන ඇත.
 
මෙම අවි කොටස් සෙවීමේ මෙහෙයුම සවස් වනතුරු සිදුකළ අතර තවදුරටත් ජලය යට අවි කොටස් ඇති බවට සැකකරන බැවින් ඉදිරියේ දී නැවත කිමිදුම් භටයන් යොදවා ජලය යට පරීක්ෂා කිරීමට කටයුතු කරන බව නාවික හමුදා නිලධාරීහු පැවසූහ.
 
ඉකුත් නොවැම්බර් 30 වැනි දා පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් විසින් යාන් ඔයෙන් අවි කොටස් ප්‍රථමයෙන් සොයා ගන්නා ලදී.
 
පාලම යට ජලයෙහි ගිනි අවි සඟවා ඇති බවට ලැබුණු තොරතුරක් අනුව විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් මෙහෙයුමක් ආරම්භ කළ අතර එහිදී ටී -56 පතොරම් 1400ක්, එම්.පි.එම්.ජි.පතොරම් 1379ක්, මැගසින්100ක්, අත් බෝම්බ 02ක්,ටොම්බ බෝම්බ 8ක්, එල්.එම්.ජී.උණ්ඩ සීයේ වැල් 12ක්,ඇතුළු තවත් ගිනිඅවි අමතර කොටස් රැසක් සොයා ගැනීමට  සමත් විය.
 
පසුව හොරොව්පොතාන පොලිසියේ ස්ථානාධිපති කළ ඉල්ලීමකට අනුව ගිනි අවි සෙවීමේ දෙවැනි මෙහෙයුම ආරම්භ කළේ ඉකුත් තුන් වැනි දා  යුද හමුදා කොමාන්ඩෝ බළකායේ කිමිදුම් භටයන් විසිනි.
 
එහිදී  ටී 56 පතොරම් 695ක්, එම්.පි.එම්.ජී. පතොරම් 319ක්, ඩෙටනෙටර් 40ක්, අත්බෝම්බ 3 ක්,ටොම්බා බෝම්බ 2 ක්, සොයාගැනීමට යුද හමුදා කමාන්ඩෝ භටයෝ සමත් වූහ.

(ඡායාරූප - පැතුම් දර්ශන)