යක්කල ආයුර්වේදය අසලින් එක් මං තීරුවක් විවෘත කරයි


(තිලකරත්න දිසානායක)

කොළඹ - මහනුවර මාර්ගයේ,  යක්කල  ආයුර්වේදය අසල කොටසක් ගිලා බැසීමට ලක්වූ පාළමෙන් දෙපසට රථවාහන ධාවනය කිරීම සඳහා  මංතීරුවක් විවෘත කිරීමට පියවර ගත් බව  මාර්ග සංවර්ධන අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලය සදහන් කරයි. 

එම පාලමෙහි මධ්‍යයෙන් අඩි 20 කට අධික ගිලාබැස්මක් ඊයේ (30) සිදුවූ  අතර එම මාර්ගය සම්පුර්ණයෙන්ම වසා දමා රථවාහන අතුරු මාර්ග ඔස්සේ ධාවනය කරවීමට  මාර්ග සංවර්ධන අධිකාරිය සහ පොලීසිය පියවර ගෙන තිබිණි. 

පාලමෙහි ගිලා බැසීම සිදුවූ කොටස ස්ථිරව සකස් කරන තෙක් පාලම මතින් ඉතා අඩු වේගයකින් රථවාහන කරවීම පිනිස එම ස්ථානය සකස්කර ඇති බවත් එම ස්ථානය නිරීක්ෂණය  සදහා   මාර්ග සංවර්ධනය අධිකාරියේ සේවක මහතුන් යොදවා සිටින බවත් එම අධිකාරියේ ගම්පහ විධායක ඉංජිනේරු කසුන් ද අල්විස් මහතා,  කළ විමසුමට පිළිතුරු දෙමින් පැවසීය. 

පාලමෙහි ගිලා බැසීම සිදුවූ කොටස සකස් කිරීම පිනිස මාර්ග සංවර්ධන අධිකාරියේ පාලම් අංශයේ සහ ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ විශේෂඥයින් කිහිප දෙනෙකු පැමිණ පරීක්ෂාවන් සිදු කරන ලද බවත් ඉංජිනේරුවරයා සදහන් කළේය.