මියගිය කඳුකර කොටියෙක්ගේ සිරුරක් හමුවෙයි


( රංජිත් රාජපක්ෂ)

ඩයගම පොලිස් වසමට අයත් ඩයගම ග්ලාස්ගෝ වතු යායේ තෘණ භුමියක තිබි මිය ගිය කඳුකර කොටියෙකුගේ සිරුරක් තිබි (04) දින හමු වු බව නුවරඑලිය වනජිවි කාර්යාලයේ වන සත්ව අඩවි ආරක්ෂක රත්නසිරි පෙරේරා මහතා පැවසිය.

කොත්මලාඔයට ජලය ගලා බසිනා අග්‍රාඔය අසල එම වතු යායේ මිය ගිය කොටියෙකුගේ සිරුරක් ඇති බවට වතු කම්කරුවන් විසින් ලබාදුන් තොරතුරක් මත මිය ගිය කදුකර කොටියාගේ සිරුර හමු වු බවත්, මිය ගිය කදුකර කොටියා අවු 04 පමණ වයසැති කොටි දේනුවක් බව රත්නසිරි පෙරේරා මහතා කියා සිටියේය.

කොටියා මියයාමට හේතුව මෙතෙක් අනාවරණය වි නොමැති අතර, මිය ගිය කොටියාගේ සිරුර සම්බන්ධයෙන් නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර මිය ගිය කොටියාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා රණ්දෙණිගල පශු වෛද්‍ය රෝහලේ පශු වෛද්‍යවරයා වෙත යොමු කරන බව රත්නසිරි පෙරේරා මහතා පැවසිය.