මැතිසබේ හිටපු ලොක්කා ගැන ප්‍රකාශයක්


(සුජිත් හේවාජුලිගේ )

විශ්‍රාම ගිය නිලධාරියකුට හෝ වෙනත් කුමන නිලධාරියකුට  වැටුප් දෙක තුන ගැනීමට කිසිසේත්ම ඉඩ නොතබන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ විශ්‍රාම ගිය උසස් නිලධාරියකු පාර්ලිමේන්තුවේ විශේෂිත කමිටුවක ඉහළ  නිලයකට පත්ව  වැටුප් දෙකක් සහ වෙනත් වරප්‍රසාද ලබා ගැනීම සම්බන්ධයෙන් පළ වී ඇති මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් කළ විමසුමකදීය.

" කවුරුත් කලබල වෙන්නෙපා.එහෙම කටයුතු වෙන්න ඉඩ තියන්නේ නැහැ" යැයිද  සියඹලාපිටිය මහතා සඳහන් කළේය.

රංජිත් සියඹලාපිටිය මහතා මෙසේද පැවසීය.

ඔය වගේ කටයුත්තක් වෙනකොට පාර්ලිමේන්තු කාර්යමණ්ඩල උපදේශක කමිටුවෙන් තමයි අනුමැතිය ගන්නට අවශ්‍ය වෙන්නේ. ඒ උපදේශක කමිටුවේ මුදල් අමාත්‍යාංශය වෙනුවෙන් සමාජිකත්වය දරන්නේ මම. මීට පෙරත් ප්‍රශ්නයක් තිබුණා. පාර්ලිමේන්තුවේ විශ්‍රාම යන වයස් සීමාව වැඩි කරගැනීමේ ඉල්ලීමක් පිළිබඳව. හැබැයි අපි කිසිසේත්ම ඒ සඳහා ඉඩක් දුන්නේ නැහැ.

පාර්ලිමේන්තුව විශේෂ ආයතනයක්. හැබැයි මුල්‍යමය වශයෙන් රටේ සමස්ත  නීති හැමකෙනාටම වැදගත් නිසා ඒ අවස්ථාවේ ඒ ඉඩ අපි දුන්නේ නැහැ. ඒ නිසා මම ඉතාම වගකීමෙන් යමක් කියන්න කැමතියි. මුදල් අමාත්‍යාංශ නිරීක්ෂණ යටතේ අපි මේ වගේ වෙලාවක එක් පුද්ගලයකුට, එක් තැනැත්තකුට හෝ එක් නිලධාරියකුට වැටුප් දෙකක්, තනතුර දෙකක වරප්‍රසාද ලබාගන්න දායක වෙන්නේ නැහැ.