මහින්දගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා රිමාන්ඩ්


(රෝෂන් තුෂාර)

උපයාගත් ආකාරය හෙළිකළ නොහැකි අන්දමේ වත්කම් රැසකට උරුමකම් කියමින් වත්කම් බැරකම් නිසිපරිදි ඉදිරිපත් නොකළේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට  ඉදිරිපත් කළ ශ්‍රී ලංකා යුධ හමුදාවේ විශ්‍රාමික ලුතිනන් කර්නල්වරයෙකු වූ වන්නිආරච්චි නෙවිල් නොහොත් නෙවිල් වන්නිආරච්චි ලබන 17 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම  මහතා අද නියෝග කළේය

අල්ලස් පනතේ 23 (අ) (1) වගන්තිය,2023 අංක 9 දරණ දුෂණ විරෝධී පනතේ 127 (1) (ඌ) සහ (ඒ) වගන්ති යටතේ සඳහන් වැරදි සම්බන්ධ චෝදනාවන්ට අදාළව අල්ලස් කොමිසම මගින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කෙරිණි .

අද උදෑසන 9 සිට පස්වරූ 1.30 දක්වා ප්‍රකාශ සටහන් කිරීමෙන් පසු සැකකරු මෙසේ අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

අල්ලස් කොමිසම අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ සැකකරු වසර අටක් තිස්සේ අල්ලස් කොමිසමට වත්කම් බැරකම් ප්‍රකාශය නිසි පරිදි ඉදිරිපත් නොකර මඟ හරිමින් සිටි බවය.

සැකකරු සතු යැයි අනාවරණය කරගත් බස් රථ ඇතුළු රථ වාහන,නිවාස, හෝටල් ඉන්ධන පිරවුම්හල්, බැංකු ගිණුම් සම්බන්ධයෙන් විශාල විමර්ශන ප්‍රමාණයක් සිදු කරීමට ඇති බැවින් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසද අල්ලස් කොමිසම ඉල්ලා සිටියේය.

කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකරු විසින් අත්පත් කරගෙන ඇති දේපළ සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් ඉදිරි දිනයේ දී අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කළේය.