මහනුවරට දුරකතන විදුලිය සක්‍රියයි


(ෂේන් සෙනෙවිරත්න)

රටටම බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ දින 03 ක් පුරා මහනුවරට විසන්ධි වී තිබූ විදුලි බලය සහ දුරකථන ඇතුළු සන්නිවේදන පහසුකම් මේ වන විට සක්‍රිය වී තිබේ.

සෙනසුරාදා (29) රාත්‍රී 8.00 පමණ වන විට එම පහසුකම් සක්‍රීය වූ අතර දැනට දින 03 ක් පුරා මහනුවර නගර සීමාව තුළ අඩපණවී ඇති ජල සැපයුම දින 03 ක් ඇතුලතදී ලබා දිය හැකි බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.

මහනුවරදී අද (29) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඒ බව නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරමින් පවසා සිටියේ මහනුවර නගර සීමාවේ අඩපණ වී ඇති ජල සැපයුම නැවත යවත්කාලීන කිරීම සඳහා යුද හමුදාවේ සහයද ලබාගෙන ඇති බවයි.

එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ මහනුවර නගරයේ ගැටඹේ ජල පොම්පාකාරය ඇතුළු සියලු ජල පොම්පාගාර එහි උපකරණද සමගින් ජලයෙන් යටවී ඇති බවත් ඒවා නැවත යතා තත්ත්වයට ගැනීම සඳහා යුධ හමුදාවේ සහයද ඇතිව කටයුතු කරන බවයි.

එම කාලය අතරතුර අරපිරිමැස්මෙන් යුතුව ජලය භාවිතා කරන ලෙසත් අවශ්‍ය ජලය ජල බහුසර් මගින් බෙදා හැරීමට පියවර ගන්නා බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.