මන්දට හසු වූ කඳුකර දිවියා මුදා ගනී


(රංජිත් රාජපක්ෂ)
                       
වන සතුන් දඩයම් කිරීම සඳහා අටවා තිබු මන්දකට හසු වී සිටි පැන්තරා පාදුස් වර්ගයේ කඳුකර දිවියා අද(12) මුදාගත් බව නල්ලතන්නිය වනජීවි කාර්යයාලයේ වන සත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසීය.
 
ගිනිගත්හේන පොලිස් වසමට අයත් ගිනිගත්හේන කෙනිල් වත්තේ පළමු කොටසේ වතු නිවාස පේලියකට ඉහළින් වු ලදු කැලෑවක අටවා තිබු මන්දකට දිවියා අද අලුයම හසු වී සිටියේය.
 
රණ්දෙණිගල පශු වෛද්‍ය රෝහලේ පශු වෛද්‍ය අකලංක පිණිදෙණිය මහතා මන්දට හසු වී සිටි කොටියා නිර්වින්දනය කර මන්දෙන් ගලවා එම ස්ථානයේදි ප්‍රතිකාර ලබා දී වැඩිදුර ප්‍රතිකාර සඳහා නල්ලතන්නිය වනජීවී කාර්යාලය වෙත රැගෙන ගියේය.
 
අවුරුදු 6 ක් පමණ වයසැති හොඳින් වැඩුණු ගැහැනු සතෙකු වන මෙම දිවියා උස අඩි දෙකක් සහ දිග අඩි 5 කින් පමණ යුක්ත බව වනජීවි නිලධාරීහු කියා සිටියහ.
 
ගොදුරු පසුපස රාත්‍රී කාලයේ සැරිසැරූ දිවියාගේ උදරය මන්දට හසු වී තිබු බවත්, මන්ද ඇටවු එම වතු යායේම පදිංචි වතු කම්කරුවෙකු සැකපිට අත්අඩංගුවට ගත් බවත්, සැකකරු හැටන් මහෙස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කරන බවත් ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසීය.

ඡායාරූප සහ මුල් පුවත සඳහා පිවිසෙන්න -  තවත් කඳුකර දිවියෙක් මන්දකට හසුවෙයි