මන්ත්‍රීවරුන් 122 පෙත්සම විසි කරන්නැයි නීතීඥවරයා ඉල්ලයි


( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
 
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට එම ධුරයේ කටයුතු කිරීමට  සහ ඔහුගේ අමාත්‍ය මණ්ඩලයේ පත්වීම් බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන මෙන් ඉල්ලා පාර්ලිමේන්තු  මන්ත්‍රීවරුන් 122  කර ඇති පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන්නැයි  අදාළ පෙත්සමෙ  වග උත්තරකරුවෙකු ලෙස නම් කර සිටින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා විසින් අභියාචනාධිකරණය හමුවේ අද ( 30) දැනුම් දෙන ලදී.
 
වග උත්තරකාර කර සිටින අගමැති  මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා වැඩිදුරටත් අධිකරණය  හමුවේ කියා සිටියේ පෙත්සම්කාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්  විසින් සඳහන් කරනු ලබන විශ්වාසභංග යෝජනාව විධිමත් ආකාරයට සම්මත වී නොමැති බවය.


මුලින්ම ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව කටහඬ පදනම් කරගෙන සම්මත වී ඇති බව කතානායකවරයා නිවේදනය කළ බව කී ජනාධිපති නීතිඥ මාරපන මහතා ස්ථාවර නියෝග 47 (1)  යටතේ කතානායකවරයා එම යෝජනාව අති බහුතරයකින් සම්මත කර ඇති බව නිවේදනය කලේ යයි ද කියා සිටියේය.


අදාල විශ්වාසභංග යෝජනාව විවාදයට ගනු ලැබුවේ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අත්හිටුවීමෙන් පසුව බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා ස්ථාවර නියෝග අත්හිටුවා තිබියදී  ස්ථාවර නියෝග 47(1) යටතේ කටහඬ පදනම් කරගෙන ඡන්ද විමසීම සිදු කරන්නේ කෙසේදැයි ප්‍රශ්න කළේය.


පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබෙන අවස්ථාවක මෙවැනි යෝජනාවක් සම්මත කිරීමට හැකියාවක් නොමැති බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ මාරපන මහතා ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නීත්‍යානුකූල භාවය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයක් පැවැත්වෙන හෙයින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීරණයක් ලැබෙන තුරු මෙම පෙත්සම් සලකා නොබලන මෙන්ද ඉල්ලා සිටියේය.


එමෙන්ම අදාළ විශ්වාසභංග යෝජනා විධිමත් ආකාරයට සම්මත වී නොමැති හෙයින් මෙම පෙත්සම්  විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන මෙන්ද ජනාධිපති නීතිඥ මාරපන මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

 

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටි චමල් රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු යන අමාත්‍යවරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කරුණු දක්වමින් විශ්වාසභංග යෝජනාව සම්මත වූ බව කියන හැන්සාඩ් වාර්තාවේ  අන්තර්ගත තොරතුරු අසත්‍ය  හා සාවද්‍ය බව ප්‍රකාශ කළේය.


එවැනි අසත්‍ය සහ සාවද්‍ය තොරතුරු අන්තර්ගත හැන්සාඩ් වාර්තා පදනම් කරගෙන අධිකරණයට නියෝගයක් නිකුත් කළ නොහැකි බවද ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ තර්ක කළේය.


එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය , සමස්ත ලංකා මහජන කොංග්‍රසය යන පක්ෂවලට අයත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු  122 දෙනෙකු ඉදිරිපත් කළ පෙත්සමක් අද අභියාචනාධිකරණය සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුවේය.


පෙත්සම්කරුවන්  වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කණගීස්වරන් මහතා අධිකරණයට  කරුණු දක්වමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ අමාත්‍ය මණ්ඩලය සම්බන්ධයෙන් කිසිදු විශ්වාසයක් නොමැති බව සඳහන් කරමින් යෝජනා දෙකක් පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයකින් සම්මත වී ඇති බව කියා සිටියේය.


එහෙම යෝජනා සම්මත වලට අදාල හැන්සාඩ් වාර්තාද ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවට ඉදිරිපත් කරමින් කරුණු දැක්වීම සිදු කළේය.

 

එහිදී රනිල් වික්‍රමසිංහ මහතාට පෙනී සිටි ජනාධිපති  නීතිඥ කන ඊෂ්වරන් මහතා පෙන්වා දුන්නේ  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ අමාත්‍ය මණ්ඩලය කෙරෙහි කිසිදු විශ්වාසයක් නොමැති බවට පාර්ලිමේන්තුව මගින් යෝජනා සම්මතයක් සිදු කර තිබියදී  ඔවුන්ට එම ධුර දැරීමට නීත්‍යානුකූලව බලයක් නොමැති බවයි.

මෙම විශ්වාසභංග යෝජනා විධිමත්ව සම්මත වී තිබේද නැද්ද යන්න තීන්දු කිරීමට පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනතේ ප්‍රතිපාදන වලට අනුව අධිකරණයට කිසිදු බලයක් නොමැති බවද ජනාධිපති නීතිඥවරයා අධිකරණයට පෙන්වා දුන්නේය.

 පෙත්සම් විභාගය තවමත් අවසන් වී නොමැත.