
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව ඉවත් කිරීම ආණ්ඩුව ප්‍රතිපත්තිමය තීරණයක් මත ගත් එකක් හෙයින් ආරක්ෂාව නැවත ලබාදීමටද ආණ්ඩුව තීරණයක් ගත යුතු බව පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා ප්‍රකාශ කර ඇත.
ඔහු මෙසේ ප්‍රකාශ කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කතානායකවරයා විපක්ෂයේ මන්ත්‍රීවරුන් සහ පක්ෂ නායකයන් සමග පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (31) පෙරවරුවේ පැවති සාකච්ඡාවේදීය.
මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව ඉවත් කළේ ආරක්ෂාව පිළිබඳ සමාලෝචනයක් කිරීමෙන් අනතුරුව දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පොලිස්පතිවරයාගෙන් එහිදී ප්‍රශ්න කර ඇත. කෙසේ වෙතත් පොලිස්පතිවරයා ඊට ප්‍රතිචාර දක්වා නොතිබුණු බව දැනගන්නට ඇත.
මෙහිදී අදහස් දක්වා අැති කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ප්‍රකාශ කර ඇත්තේ ආරක්ෂාව ඉල්ලූ මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම් සියල්ල අදාල බලධාරීන්ට යොමු කර ඇති බවයි.
මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව ලබාදීමට අවශ්‍ය කටයුතු කරන්නැයිද කතානායකවරයා පොලිස්පතිවරයාට දැනුම්දී ඇත.
ඊට ප්‍රතිචාර දක්වා ඇති පොලිස්පතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපතිවරයා සහ මහජන ආරක්ෂක අමාත්‍යවරයා සමග සාකච්ඡා කර ඒ සඳහා විසඳුමක් දෙන බවයි.
මෙම සාකච්ඡාවට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රංජිත් මද්දුම බණ්ඩාර, මුජිබර් රහුමාන්, සුජිත් සංජය පෙරේරා, සුජීව සේනසිංහ, ජගත් විතාන, දිලිත් ජයවීර, රවී කරුණානායක, රෝහිත අබේගුණවර්ධන මනෝ ගනේෂන් සහ පලනි දිගම්බරම් යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද පොලිසියේ තවත් උසස් නිලධාරීහු කිහිප දෙනෙක්ද සහභාගි වූහ.
මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් එහිදී පැය දෙකකට ආසන්න කාලයක් දීර්ඝව සාකච්ඡා කර ඇත.

