මත්පැන් සමාගමකින් කෝටි 275 ක පොල්ලක්


(සුජිත් හේවාජුලිගේ )

නිෂ්පාදන කටයුතු අත්හිටුවා ඇති සැර මත්පැන් නිෂ්පාදන සමාගමක් සුරාබදු දෙපාර්තමේන්තුවට 2022 වර්ෂයේදී  රුපියල් කෝටි 275 ක පමණ බදු  මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි  ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

එම සමාගම මෙසේ ගෙවීම පැහැර හැර ඇතැයි පැවසෙන්නේ රුපියල් කෝටි 129 ක බදු මුදලක් සහ එම බදු මුදලට අදාළ කෝටි  145 ක ප්‍රමාද ගාස්තුය.

නිෂ්පාදන කටයුතු අත්හිටුවා තිබු මෙම සැර මත්පැන් නිෂ්පාදන සමාගමේ කටයුතු නැවතත් ආරම්භ කිරීමට රුපියල් කෝටි දහයක  මුදලක් ගෙවීමට සහ  ඉතිරි මුදල වාරික 24කින් ගෙවීම සඳහා 2021 ජුනි ජුනි 23 දින ගිවිසුම් ගතව තිබිණ.

ඉන් මූලික ගෙවීම වාරික දෙකක් යටතේ ගෙවීමට අවස්ථාව සලසාදී  තිබූ අතර පළමු වාරිකය 2021 ජුනි 30 ගෙවීමට කටයුතු ආරම්භ කර තිබියදී අමාත්‍ය මණ්ඩල තීරණයක් මත නිෂ්පාදන නැවත අත්හිටුවීමට කටයුතු කර තිබිණි.

ඉන් අනතුරුව එහි නිෂ්පාදන කටයුතු නැවතත් ආරම්භ කිරීමට 2022 වර්ෂයේ අනුමැතියදී තිබූ  බව  වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

මේ අතර සුරාබදු දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරීන් 55 දෙනකු එම දෙපාර්තමේන්තුවට ලක්ෂ 63 ක ණය මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන  කාර්යාලය පවසයි.

ණය ගෙවීම පැහැර හැර ඇති මෙම පිරිසට මියගිය නිලධාරීහු අට දෙනෙක්ද සේවයෙන් පහකළ නිලධාරීහු දස  දෙනෙක්ද විශ්‍රාම ගිය නිලධාරීහු 19 දෙනෙක් සහ  වැඩ තහනමට ලක්වූ නිලධාරීහු 18 දෙනෙක්ද ඇතුළත් වෙති.

මියගිය නිලධාරියකුගෙන්  සහ විශ්‍රාම ගිය නිලධාරියකුගෙන් ලැබිය යුතු  රුපියල් හාර ලක්ෂයකට වැඩි මුදලක් වසර දෙක තුන අතර කාලයක සිට  හිඟව පැවතුණු  බව විගණන  නිලධාරීහු පවසති.

තවද සේවයෙන් පහකළ නිලධාරීන් පස්  දෙනෙකුගෙන් සහ වැඩ තහනමට ලක් වූ නිලධාරීන් දෙදෙනකුගෙන් රුපියල් හය ලක්ෂයකට වැඩි මුදලක් වසර 5 කට වැඩි කාලයක සිට හිඟව  පැවතුණු  බව  එම නිලධාරීහු වැඩිදුරටත් පෙන්වා දෙති.

මේ තොරතුරු සඳහන් වන්නේ සුරාබදු දෙපාර්තමේන්තුවේ 2022 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.