මත්තල අවුරුද්දක පාඩුව කෝටි 100 යි



(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වසරකදී රුපියල් කෝටි 100ක පාඩුවක් ලබන බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී  අද (5)  පැවසීය.

මෙම ගුවන්තොටුපොළ  රජයට වැය බරක් නොවන ආකාරයට පවත්වාගෙන යෑමට සැලසුමක් සකස් කර ඇතැයිද  ඔහු සඳහන් කළේය.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ සමග ජන බලවේගයේ  ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙසේද සඳහන් කළේය.

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ මේ වර්ෂයේ  මේ දක්වා කාලයේ ආදායම කෝටි 16යි. ගගන ආදායම  රුපියල් පන් කෝටි හතළිස් ලක්ෂයයි. ගගන නොවන ආදායම දස කෝටි අනූ ලක්ෂයයි. මුළු වියදම කෝටි 102 ක්. මෙම ගුවන්තොටුපොළ ඉදිකිරීමට චීනයේ එක්සිම් බැංකුවෙන් රුපියල් ඩොලර් මිලියන 189ක් ලබාගෙන තිබෙනවා.  සියයට දෙකේ  වාර්ෂික පොලී අනුපාතයට යටත්ව. අවුරුදු 15 කින් ගෙවා නිම කරන්න ඕන. දේශීය ණය වශයෙන් ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් රුපියල් කෝටි 400 ක් ලබාගෙන තියෙනවා. එය වර්ෂ 15 කදී ගෙවිය යුතුයි. ගුවන්තොටුපොළ  වැය බරක් නොවී පවත්වාගෙන යෑමට සැලසුමක් ඉදිරිපත් කරලා තියෙනවා.