බොරු සාක්කි දුන් පොලිස් සැරයන් රිමාන්ඩ්



 
 
(මනෝප‍්‍රිය ගුණසේකර)

 
කුඩු ජාවාරම්කරුවකුට පක්‍ෂපාති වන අන්දමට අධිකරණය හමුවේ පරස්පර සාක්කි ලබාදුන් බව කියන පොලිස් සැරයන්වරයකු ලබන 21 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා නියම කළේය.


අධිකරණය හමුවේ පරස්පර සාක්කි ලබාදුන් බව කියන පොලිස් සැරයන්වරයාගේ අක්‍ෂි සම්බන්ධයෙන් විශේඥ අක්‍ෂි වෛද්‍යවරයකුගේ වාර්තාවක් හා ඔහුගේ මානසික තත්වය පිළිබඳ මානසික වෛද්‍ය වාර්තාවක්ද කැඳවීමටද විනිසුරුවරයා වැඩිදුරටත් නියම කළේය.


මෙලෙස රිමාන්ඩ් බාරයට පත් කරන ලද්දේ බදුල්ල දුෂණ මර්දන අංශයට අනුයුක්තව රාජකාරි කරන පොලිස් සැරයන් (54092) චන්ද්‍රරත්න මහතාය.


2006 ජනවාරී මස 17 වැනිදා හෝ ඊට ආසන්න දිනයක මාලිගාවත්තේදී හෙරොයින් ග්‍රෑම් 43.44ක් ළඟ තබාගෙන ජාවාරම් කළ බවට මොහොමඩ් සාහිර් මොහොමඩ් ගඩාපි නමැත්තාට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා තිබිණි.


මාලිගාවත්ත පොලිසියේ දුෂණ මර්දන අංශය විසින් කරන ලද වැටලීමකදී විත්තිකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ සම්බන්ධ නඩුවේ පැමිණිල්ලේ 10 වැනි සාක්කිකරු වශයෙන් මෙම පොලිස් සැරයන්වරයා අධිකරණයට කැඳවනු ලැබ ඇත.


මෙම නඩුව යළි කැඳවන ලබන 21 වැනිදා ඔහු අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද විනිසුරුවරයා වැඩිදුරටත් නියම කළේය.