IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ජනපති, ආපදා සහන පැකේජය මැති සබේ දී දිග හරියි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

රට යළි ගොඩනැගීමේ වැඩපිළිවෙළ ඉතා සැලසුම් සහගතව පියවරෙන් පියවර ඉදිරියට ගෙන යන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී පැවැසීය. ජනතාවට ආධාර ලැබී නොමැති නම් තව මාස දෙකකින් ගෙයින් ගෙට ගොස් කරුණු සොයා බලන්නැයි විපක්ෂයට කී ජනාධිපතිවරයා දැනට ආපදා කළමනාකරණ කමිටුවට ගොස් සහාය දෙන්නැයි කීය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදි සිදු කළ සම්පූර්ණ කතාව මෙසේය.

මෑත ඉතිහාසයේ අපි ඉදිරිපත් කරන විශාලතම පරිපූරක ඇස්තමේන්තුව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. අපි පසුගිය 05 වනදා දීර්ඝ විවාදයකින් පසු 2026 වසරට අවශ්‍ය වන අයවැය ලේඛනය පාර්ලිමේන්තුවේ සම්මත කර ගත්තා. හැබැයි ඉතාමත් කෙටි කාලයක් තුළ අපිට නැවත රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කිරිමට සිදුව තිබෙනවා. ඇති වී තිබෙන ආපදා තත්ත්වයෙන් සාමාන්‍ය ජන ජිවිතය යළි සක්‍රීය කිරීමටත්, ඒ වගේම අපේ ආර්ථිකයට යළි පණ පෙවීම සඳහාත් මෙවැනි පරිපූරක ඇස්තමේන්තුවක් අවශ්‍ය බව මේ පාර්ලිමේන්තුවේ සියලුදෙනා පිළිගන්නවා. නමුත් මම දන්නවා පාර්ලිමේන්තුවේ සහ ඉන් පිටතත් මේ පිළිබඳ සංවාදයක් තිබෙනවා. මේ බිලියන 500 හේතුකොට ගෙන අප්‍රේල් වන විට ආර්ථිකය කඩා වැටෙනවා කියලා ඇතමුන් ප්‍රකාශ කරනවා. මෙවැනි විශාල මුදල් ප්‍රමාණයක් පරිපූරක ඇස්තමේන්තුවක් මගින් ඉදිරිපත් කිරීම තුළින් ආර්ථිකය විශාල තර්ජනයකට මුහුණ දෙන බවට කෙරෙන මෙම ප්‍රකාශ පිළිබඳ යම් පැහැදිළි කිරීමක් කරන්න කැමතියි.

අපි ඉතා හොදින් මූල්‍ය විනයක් සහ ඉලක්කයක් සහිතව වැඩ කරපු ආණ්ඩුවක්. මේ 2025 වසර ගත්තොත් මේ වසරේ අපි ආර්ථික ක්ෂේත්‍රයේ වැදගත් සාධක ගණනාවකින් ජයග්‍රහණ ලබා තිබෙනවා. ඔබ දන්නවා දීර්ඝ කාලයක් භාණ්ඩාගාර ගිණුම පවත්වාගෙන ගියේ බැංකු අයිරාවකින්. ඇතැම් විට 33%, 36%ක් වැනි පොළියක් මේ බැංකු අයිරා වෙනුවෙන් ගෙව්වා. 2018 බැංකු අයිරාව බිලියන 180යි. 2019 එය බිලියන 274යි. 2020 බිලියන 575ක් සහ 2021 බිලියන 821ක් වෙනවා. ඒ කියන්නේ ආණ්ඩුවේ බැංකු ගිණුම බිලියන 821 අයිරාවක් වී තිබුණා. හැබැයි 2025 නොවැම්බර් වන විට අපේ ආණ්ඩුවේ භාණ්ඩාගාර ගිණුමේ ධන අගය බිලියන 1202යි. ඒ කියන්නේ 2021ට සාපේක්ෂව ට්‍රිලියන 02ක ඉහළ යාමක්. එය අපේ රටේ ආර්ථිකයේ ඉතා වැදගත් කරුණක්. එවැනි සංචිතයක් නොතිබෙන්න අපිට අද මේ බිලියන 500 වෙන් කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. එසේ නම් මේ බිලියන 500 සම්පූර්ණ කර ගැනීමට අපිට වෙන උපායමාර්ග ගණනාවක් සොයා ගැනීමට වෙනවා.

දෙවනුව, අපේ ආදායම ගත්තොත් 2007 වසරට පසුව ලංකාවේ වැඩිම රාජ්‍ය ආදායම 15.9 රාජ්‍ය ආදායමක් 2025 වසරේ උපයනවා. එම ආර්ථික හයිය අපිට අවශ්‍යයි මේ අර්බුදයට මුහුණ දීම සඳහා. තුන්වනුව 1977න් පසුව අඩුම අයවැය හිඟය ලෙස 4.5 අයවැය හිගයක් වාර්තා කර තිබෙනවා. ඒ වගේම අපි දන්නවා අයවැය ඉලක්ක ගත් විට මෙරට ඉතිහාසයේ ආදායම් ඉලක්ක අභිබවා ගිය වසර බවට මේ වසර පත්ව තිබෙනවා.

මේ අවුරුද්දේ අපි අපේක්ෂා කළා බිලියන 4960ක්, මේ 2025 දෙසැම්බර් 15 වන විට බිලියන 5125ක් ආදායමක් උපයා ගෙන තිබෙනවා. ඒ වගේම ණය සීමාව වැඩි නොකර තබා ගැනීමට අපිට පුළුවන් වුණා. මේ 2026 අයවැය ලේඛනය ඉදිරිපත් කරන විට අපි කිව්වා බිලියන 3800ක ණය සීමාවක් අපි අපේක්ෂා කරනවා කියලා, නමුත් අපි අයවැය යෝජනා හරහා තවත් බිලියන 60ක් අඩු කර බිලියන 3740ක ණය සීමාවක් පවත්වාගෙන යනවා. අපි මේ බිලියන 500ක අතිරේක මුදල් යොදවන්නේ අපේ ණය සීමාව වැඩි කරන්නේ නැතිව. එය ඉතා වැදගත්. ඒ නිසා දීර්ඝ කාලයකට පසු අයවැය ලේඛනයෙන් අපේක්ෂා කරන ණය සීමා තුළ ආරක්ෂා වීම සඳහා අපිට හැකියාව ලැබී තිබෙනවා.

ඒ වගේම 1950න් පස්සේ අපේ ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් තිබී තිබෙන්නේ අවස්ථා 06ක පමණයි. ඒ අවස්ථා 06ම 1%ට වඩා අඩුයි. හැබැයි ඉතිහාසයේ පළමු වතාවට අපේ ප්‍රාථමික ගිණුමේ අතිරික්තය මේ වසරේ 3.8%ක් ලෙස වාර්තා කරනවා. ලංකා ඉතිහාසයේ වැඩිම විදෙස් ප්‍රේෂණ මේ වසරේ ලැබෙනවා. සංචාරක ඉපැයීම් 2018 බිලියන 3.8ක වගේ ඉපැයීමක් සිදු වුණේ. එය අභිබවා යයි කියලා අපි අපේක්ෂා කරනවා. ඒ වගේම අපේ භාණ්ඩ හා සේවා අපනයන ආදායම ඩොලර් බිලියන 18කට ආසන්න ප්‍රමාණයක් උපයා ගැනීමට හැකිවෙයි කියා අපේක්ෂා කරනවා. ඉතා ශක්තිමත් මුල්‍ය කළමනාකරණයක් සහ ඉලක්ක සහගතව වැඩ කිරීමේ ප්‍රතිඵලයක් ලෙස අපි මේ සාර්ථකත්වය ලබා ගෙන තිබෙනවා.

හැබැයි අපිට තිබුණේ විශාල කම්පනයන්ට ඔරොත්තු දෙන ආර්ථිකයක් නොවෙයි. කුඩා හෝ වැරදි තීන්දුවක් බරපතළ ගනයේ විනාශයන් ඇති කරන ආර්ථිකයක් අපිට තිබුණේ. ඒ නිසා ගත වූ මාස 14-15කට ආසන්න කාලය තුළ අපි ඉතාමත් සංයමයෙන් වරද්දා ගන්නේ නැතිව ඉතා සියුම් තැන් පවා අධ්‍යයනය කරමින් ආර්ථික ස්ථායීතාව ඇති කරගෙන තිබෙනවා. එය කිසිවෙකුට ප්‍රතික්ෂේප කරන්න බැහැ. හැබැයි එවැනි ආර්ථික ස්ථායීභාවයක් තුළ තමයි අපිට මේ ප්‍රහාරය එල්ල වී තිබෙන්නේ. අපි මෙලෙස ආර්ථික වශයෙන් ස්ථායි සහ ශක්තිමත් තැනක සිටියේ නැත්නම් අපිට මේකට මුහුණ දෙන්න බැහැ. අපිට ඒ සඳහා මුහුණ දීමට ධෛර්ය සහ විශ්වාසය නිර්මාණය කළේ අපි මේ වන විට අත්පත් කරගෙන තිබෙන ආර්ථික ස්ථායීභාවයයි. හැබැයි මෙවැනි ප්‍රහාරයකට ඔරොත්තු දීමේ මට්ටමට මේ ආර්ථිකය වර්ධනය වෙමින් නොතිබු බව අපි දන්නවා. බිඳ වැටුණු රටක් අපි පියවරෙන් පියවර ගොඩනගමින් තිබු අවස්ථාවක තමයි මේ කම්පනය අපේ ආර්ථිකයට ගෙනවිත් දී තිබෙන්නේ. ඒ නිසා මේ කම්පනය සමනය කර ගැනීමට අවශ්‍ය වන ඉතා සියුම් මැදිහත්වීම ලබා දෙමින් මේ ආර්ථිකය කළමනාකරණය කරගත යුතුයි.

හැබැයි මසුරු සිටාණෝ වගේ සියල්ල එකතු කරමින් ධනය එක් රැස් කර ගැනීම නොවෙයි, ආර්ථිකයක් කියන්නේ. ආර්ථිකයක් යනු එයින් ලබා ගන්නා යම් හෝ ප්‍රතිලාභයක් තිබෙනවා නම් ඒ ප්‍රතිලාභය පෙරළා ජනතාවට ගලාගෙන යාමට සැලැස්වීමයි. එසේ නොමැතිව භාණ්ඩාගාරයේ ට්‍රිලියන ගණනක් අතිරික්තයක් තිබෙනවා කියන එකෙන් ජනතාවට ලැබෙන ප්‍රතිලාභයක් නැහැ. ඒ නිසා අපි ආර්ථිකයේ අත්පත් කරගන්නා කුඩා හෝ ජයග්‍රහණයක් තිබෙනවා නම් ඒ ජයග්‍රහණය ජනතාව අතරට ගලා ගෙන යා යුතුයි.

ඒ නිසා මේ ආපදා තත්ත්වයේදී ජනතාවට ආධාර ලබා දීම සඳහා අපි සතුව තිබු ට්‍රිලියන 1.2ක් වන සංචිත උපයෝගි කරගත යුතුයි. අපි එය අතහරින්නේ නැහැ. ආණ්ඩු බලය තිබෙන අය ලොකු හැදිවලින් බෙදාගත් ඉතිහාසයක් අපේ රටේ තිබෙනවා.

නිවාස ගිනි තැබීමෙන් පසු මැති ඇමතිවරුන්ට ඒවාට වන්දි ලබා දුන් ක්‍රමය සාධාරණද? තමන් විශාල පංගුවක් බෙදා ගැනීමේ පූර්වාදර්ශයක් හැමදාම මේ රටේ තිබුණා. ජනතාවට කුඩා හැඳිවලින් බෙදනවා. අපි ජාතික ජනබලවේගය ආණ්ඩුව හැදුවේ ලොකු හැඳිවලින් ආණ්ඩුවට බෙදා ගන්න නොවෙයි. අපේ අරමුණ වන්නේ ජනතාවට සාධාරණ ප්‍රතිලාභ ලබා දීමයි. ඒ නිසා මෙම ප්‍රශ්නයෙන් ගොඩ ඒම සඳහා ජනතාවට සාධාරණ ලෙස සහාය වීමට අපි මැදිහත් වී තිබෙනවා.

මේ ජනතාවට යළි තමන්ගේ ජීවනෝපායමාර්ග ආරම්භ කරමින් වඩා ස්ථාවර ජිවිතයක් ගත කිරීම සඳහා අවශ්‍ය මදිහත් වීම අපි කරන්නේ කොහොමද කියන එකයි අපේ ප්‍රතිපත්තිමය ප්‍රවේශය වන්නේ. ඒ සඳහා තමයි අපි රුපියල් බිලියන 500ක් අපේක්ෂා කරන්නේ. අපි ලබන වසරට මිලියන 1400ක ප්‍රාග්ධන වියදම් වෙන් කර තිබෙනවා. එම ප්‍රාග්ධන වියදම්වලිනුත් මේ ක්ෂේත්‍රයට යොමු කිරීම සඳහා බිලියන 130ක් පමණ හදුනාගෙන තිබෙනවා. ඒ වගේම බිලියන 72ත් සමග බිලියන 700කට වැඩි මුදලක් අපි මේ වෙනුවෙන් සමස්ත ප්‍රතිපාදන ලෙස වෙන් කර තිබෙනවා. ලෝක බැංකුව මේ පිළිබඳ සිදු කරන ලද දළ ඇස්තමේන්තුව ඇතුළත් වාර්තාවක් ලබන සදුදා අපිට ලබා දීමට නියමිතව තිබෙනවා.

හැබැයි අපි මෙහිදී අවධානය යොමු කරන කරුණු කිහිපයක් තිබෙනවා. බිලියන 500ක් අතිරේකව වෙළඳපොළට පැමිණෙන විට උද්ධමනයට ඇතිවිය හැකි බලපෑම අපි සැලකිල්ලට භාජනය කරනවා. ඒ අනුව භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේ කාර්යක්ෂමතාව ගෙන ආ යුතුයි. අපි වෙන් කරන මුදල්වලින් සැලකිය යුතු ප්‍රමාණයක් භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේ වර්ධනයක් අත්පත් කර ගැනීම සඳහා වැය කළ යුතුයි.

ඒ වගේම බිලියන 500ක් වෙළෙඳපොළට එන විට ඩොලර්වලට එන ඉල්ලීම යම් ප්‍රමාණයකින් වැඩි වීමේ ඉඩක් තිබෙනවා. එය අපි අවබෝධකරගත යුතුයි. එසේ නම් අපි අපේක්ෂා කරන ලද ඩොලර් ආදායමට වඩා අතිරේක ආදායමක් අපි ඩොලර්වලින් උපයාගත යුතුයි. එසේ නොවුණහොත් විනිමය අනුපාතය පිළිබඳ බලපෑමක් ඇති වෙනවා. එය වැළැක්වීම සඳහා තමයි අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් මිලියන 200ක ක්ෂණික ආධාරයක් අපි අපේක්ෂා කරන්නේ.

අද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මණ්ඩලය රැස් වෙනවා. අපි විශ්වාස කරනවා අපිට සාධාරණයක් ඉටු කර දෙයි කියලා. අපි ඒ සඳහා ලෝක බැංකුවෙන් සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් සහාය අපේක්ෂා කර තිබෙනවා. ඒ නිසා 2026 සැලැස්මේ තිබු ඩොලර් ප්‍රමාණයට වඩා ඩොලර් මිලියන 500ක්වත් අපි අලුතෙන් කැඳවාගත යුතුයි.

ඒ නිසා අපි මෙහිදී උද්ධමනය පාලනය කර ගැනීම සහ විනිමය අනුපාතයට වන බලපෑම පාලනය කර ගැනීම පිළිබද අවධානය යොමු කර තිබෙනවා. එහිදී මෙම මුදල් වෙන් කිරීම පිළිබදව අපි සැලැස්මක් සකස් කර තිබෙනවා. ඒ අනුව අපි ලබා දෙන සහන පැකේජය පිළිබඳ පූර්ණ අදහස මම ඉදිරිපත් කරන්නම්.

හදිසි ආපදා තත්ත්වය පහව යාමත් සමග ආපදාවට ලක් වූ පවුලවලට තම නිවස පිරිසිදු කර ගැනීම සඳහා රුපියල් 25,000 ලබා දීමට අපි කටයුතු කර තිබෙනවා. සියලුදෙනාට මෙම දීමනාව හිමියි. හැබැයි මම දන්නවා මෙහිදී දුෂ්කරතාවක් තිබෙනවා. ග්‍රාම සේවා නිලධාරින් ඇතුළු නිලධාරින් විසින් මෙය තීරණය කරනවා. දේශපාලකයා මෙය බෙදන කෙනා හෝ තීරණය කරන කෙනා නෙවෙයි, හැබැයි යම් කෙනෙකුට ආසාධාරණයක් වී තිබෙනවා නම් ලැබිය යුතු කෙනෙකුට ලැබී නැතිව තිබෙනවා නම් දේශපාලන අධිකාරිය ඒ ගැන සොයා බලනවා. ඒක තමයි විධිමත් ක්‍රමය. දේශපාලන කමිටුවලින් අත්සන් ගන්නවා වැනි ප්‍රකාශ බොරු ප්‍රචාර. අපි පැහැදිළිව රාජ්‍ය යාන්ත්‍රණය මගින් මේ සඳහා විධිමත් ක්‍රමයක් සකස් කර තිබෙනවා. විවිධත්වයන් ගොඩක් තිබෙන බැවින් මෙම තෝරා ගැනීමේදී යම් ප්‍රමාදයක් තිබෙනවා. එය ස්වභාවිකයි. මෙය අපි කවුරුත් දන්නා සත්‍යයක්. කිසිදු බෙදීමකින් තොරව මෙම දීමනාව අපි ලබා දෙනවා. දැනට වාර්තා වී ඇති ප්‍රමාණය අනුව 65%කට ආසන්න ප්‍රමාණයක් ලබා දී තිබෙනවා. ඇතැම් දිස්ත්‍රික්කවල 90% සහ 100% ලබා දුන් ස්ථාන තිබෙනවා. ඒ වගේම තවත් 50,000ක දීමනාවක් ලබා දෙනවා. නිවාස කැඩි තිබෙනවා නම්, ගෘහ භාණ්ඩවලට හානි වී තිබෙනවා නම් ඒ අයට මුළුතැන්ගෙයි උපකරණ ටික ලබා ගැනීම වෙනුවෙන් හැම පවුලකටම එම දීමනාව ලබා දෙනවා. කිසිදු ආණ්ඩුවක් මෙවැනි අන්දමින් කටයුතු කර නැහැ. ප්‍රතිපත්තිමය මූලධර්මයක් මත තමයි අපි මෙය ලබා දෙන්නේ.

දැනට වාර්තා වී ඇති තොරතුරු අනුව පූර්ණ වශයෙන් හානි වූ නිවාස 6228ක් තිබෙනවා, අර්ධ වශයෙන් හානි වූ NBRO අවසර ලබා නොදෙන නිවාස 4543ක් තිබෙනවා. හානි නොමැති නමුත් NBRO අවසර නොදෙන නිවාස 6877ක් තිබෙනවා. එසේ ගත් විට මුළු නිවාස 17, 648ක් තිබෙනවා. අපි පළමු කොටම මේ 17,648ට ජනවාරි මාසයේ සිට රුපියල් 50,000ක දීමනාවක් ලබා දෙනවා මාස 03ක් දක්වා.

ඒ වගේම අපි දන්නවා අවතැන් කඳවුරක ජීවිත මොනතරම් අසීරුද කියලා. ඒ නිසා අපේ අපේක්ෂාව වන්නේ මොවුන් ඉතා ඉක්මණින් එම ස්ථානවලින් ඉවත් කර මා පෙර පැවසු ඛාණ්ඩ 03 අනුව රුපියල් 25,000ක නිවාස කුලියක් දෙනවා ගෙදරට යන්න. ඥාති ගෙදරක ඉන්නවා නම් ඒත් 25,000 ලබා දෙනවා.

ඒ වගේම අපි තීරණය කර තිබෙනවා ඉතා වේගයෙන් නැවත වගාවන් ආරම්භ කිරීමට. වාරිමාර්ග දෙපාර්තමේන්තුව, පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ගොවි ජන සේවා දෙපාර්තමේන්තුවට අයත් ජලාශ විශාල ප්‍රමාණයකට හානි වුණා. ඒවා හැකි ඉක්මණින් ප්‍රතිසංස්කරණය කරමින් මේ මහා කන්නයේ ආරම්භය වෙනුවෙන් අවශ්‍ය ජලය ලබාදීම පිළිබඳ අපි දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට ගොස් සාකච්ඡා කළා. ඒ වගේම ඒ වගා කටයුතු නැවත ආරම්භ කිරීමට අවශ්‍ය සහන ලබා දුන්නා.

ඒ අනුව වී, බඩඉරිගු, රට කජු සහ ධාන්‍ය වර්ග වගා කර තිබෙනවා නම් හෙක්ටයාරයකට 150,000ක දීමනාවක් ලබා දීමට අපි තීරණය කළා. හානියේ ප්‍රමාණය අඩු වුණත් මොවුන්ට නැවත නැගිටීමට අපි ධෛර්ය ලබා දිය යුතුයි. වගා භූමිය අහිමි වූ විට එම පුද්ගලයාට ඇතිවන වේදනාව අපි දන්නවා.

සාමාන්‍යයෙන් ගොවියෙක් වගා කළ විට හැමදාම උදේට කුඹුරට ගොස් නීල ගොයම දෙස බලනවා. සතුටු වෙනවා. එවැනි ගොයමක් බිද වැටුණු විට ඇතිවන මානසික පීඩනය අපි දන්නවා. පොහොර සහනාධාරය ලබා ගත් සෑම ගොවියෙකුටම ගොවිජන සේවා දෙපාර්තමේන්තුව මගින් ලබන සතිය වන විට අදාළ මුදල් බැංකු ගිණුම් වෙත යොමු කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ වගේම මිරිස්, ලූනු, ගස් ලබු සහ කෙසෙල් වගා කළ අය එළවලු කණ්ඩායමට ඇතුළත් කර හෙක්ටයාරයකට රුපියල් ලක්ෂ 02ක් ලබා දීමට තීරණය කර තිබෙනවා. අපනයන කෘෂිකර්මාන්තය පැත්තෙන් යෝජනා ගණනාවක් ආවා. ඒ අනුව ගම්මිරිස්, එනසාල්, කෝපි යන වගාවන්ට වන්දි ලබා දීමට තීරණය කර තිබෙනවා. ඊට අවශ්‍ය කරන දත්ත සියල්ලම ලබා දී තිබෙනවා. එම දත්තවලට අනුව ගම්මිරිස් පැළයකට රුපියල් 250 බැගින් ගෙවන්න තින්දු කර තිබෙනවා. අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් නව පැළ ලබා දීමටත් එකඟතාව පළ කර තිබෙනවා.

සත්ත්ව පාලන ප්‍රශ්නය ඊළඟට අප මුහුණ දුන් විශාලතම ප්‍රශ්නයක්. කුඹුරකට නම් හෙක්ටයාරයක් කියා මිම්මක් තිබෙනවා. එළවළු වගාවකට නම් අක්කරයක් කියා මිම්මක් තිබෙනවා. නමුත් සත්ත්ව පාලනයට එහෙම මිම්මක් නැහැ. සතුන් කොපමණ සිටිනවාද? සතුන් වර්ග විශාල ප්‍රමාණයක් සිටිනවා. එකම වර්ගයේ සතෙක් වුවත්, ලොකු, පොඩි වශයෙන් සතුන් සිටිනවා. එනිසා විවිධත්වයක් තිබෙනවා.

එසේනම්, අපි මේ විවිධත්වයට සාධාරණය ඉටු කරන්නේ කොහොමද? ඒ වගේම පශු වෛද්‍ය කාර්යාලයේ ලියාපදිංචි විය යුතුයි. ලියාපදිංචි නොමැති සත්ත්ව පාලනය ගැන අප වෙනම සිතන්න අවශ්‍යයි. පළමු පියවර වශයෙනස් ලියාපදිංචි ඒවාට අපි සැලසුම් සකස් කර තිබෙනවා. එහිදී දෙමුහුන් ගවයෙක් නැති වුවහොත් ලක්ෂ දෙකක ආධාරයක් ලබා දෙනවා. උපරිම ගවයන් 10ක් දක්වා රුපියල් ලක්ෂ 20ක ආධාරයක් ලබා දෙනවා. දෙමුහුන් නොවන දේශීය ගවයෙක් වෙනුවෙන් රුපියල් 50,000 බැගින් ආධාර ලබා දෙනවා. උපරිම ගවයන් 20ක් දක්වා රුපියල් ලක්ෂ 10ක ආධාරයක් ලබා දෙනවා.

සත්ත්ව පාලනයේ යෙදෙන සෑම ගොවියෙකුගේ ප්‍රධාන අභිප්‍රාය බවට පත්විය යුත්තේ පශු වෛද්‍ය කාර්යාලයේ ලියාපදිංචි විමයි. අඩුම තරමින් මාස 6න් 6ට තමන් සතුව සිටින සතුන්ගේ ප්‍රමාණය වාර්තා කළ යුතුයි.

ලියාපදිංචි නොකරන ගොවිපළකට පශු වෛද්‍ය සේවාව ලබා දෙනවා නම් යම් මුදලක් අයකරගත යුතුයි. මින් ඉදිරියට සේවාවන් නොමිලේ ලබා දෙන්න බැහැ. ලියාපදිංචි නොවූ ගොවියන්ට පළාතෙන් පළාතට ගවයන් ප්‍රවාහනය කරන්න දෙන්නේ නැහැ. එනිසා ලියාපදිංචි වීම අත්‍යවශ්‍යයි. නමුත් සූකර, එළු සහ බැටළු කියන සත්ත්ව වර්ග තුනෙන් එක සතෙක් අහිමිව තිබෙනවා නම් රුපියල් 20,000ක් උපරිම සතුන් 20ක් සඳහා ලබා දීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව යළි සත්ත්ව පාලනය නඟාසිටුවීමට එවැනි සැලසුම් අප සකස් කර තිබෙනවා. ඊළඟට කුකුළු පාලනයේදී එක එක ප්‍රබේදයන් ගණනාවක් තිබෙනවා. මිය ගිය එක් ලේයර් සතෙක් සඳහා රුපියල් 500 බැගින් සතුන් 2000ක් දක්වා ආධාර ලබා දෙනවා. එවිට සතුන් 2000ක් අහිමිව ගියා නම් රුපියල් මිලියනයක් ලැබෙනවා. බ්‍රොයිලර් සතෙකුට රුපියල් 250 බැගින් උපරිම සතුන් 4000ක් දක්වා ආධාර ලබා දෙනවා. ගොවීන් දිරි ගැන්වීම අරමුණු කරගෙන සතුන් ලබා දුන් ගෙවතු කුකුල් ගොවිපළවල් විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඔවුන්ටත් අප රුපියල් 10,000ක ආධාරයක් ලබා දීමට තීන්දු කර තිබෙනවා. නැවත පළාත් සභාවෙන් පැටවුන් නොමිලේ ලබා ගන්නත් පුළුවන්.

ධීවර කර්මාන්තයේ ප්‍රශ්න කිහිපයක් තිබෙනවා. කරදිය ධීවර කර්මාන්තයේ යෙදෙන අයට බෝට්ටු රක්ෂණය කරන්නේ නැතිව කර්මාන්තයේ යෙදෙන්න බැහැ. ධීවර අමාත්‍යාංශයෙන් මත්ස්‍යයන් ඇල්ලීමට බලපත්‍ර ලබා දෙන්නේ ඔවුන්ගේ බෝට්ටු රක්ෂණය කර තිබුණොත් පමණයි. මුහුදේ මත්ස්‍යයන් අල්ලන සෑම දෙනාටම රක්ෂණයක් තිබෙනවා. රක්ෂණයෙන් වන්දි මුදලක් ලැබුණත් අලුතින් බෝට්ටුවක් ලබා ගන්න එම රක්ෂණ මුදල ප්‍රමාණවත් නැහැ. රක්ෂණයෙන් ලැබෙන මුදල සීනෝර් ආයතනයට ලබා දෙන්නත්, සීනෝර් ආයතනයෙන් අලුත් බෝට්ටුවක් ලබා දීමට අප තීන්දුවක් ගත්තා.

දැල් ආම්පන්න වෙනුවෙන් රුපියල් ලක්ෂයක වවුචරයක් ලබා දීමට කටයුතු කරනවා. ඒ වවුචරය සීනෝර් ආයතනයට ලබා දීමෙන් පසු දැල් ආම්පන්න ලබා ගන්න පුළුවන්. නැවත ධීවර කර්මාන්තය දියුණු කරන්න අපිට අවශ්‍යයි. ඒ වගේම පොඩි පොඩි හානි වී තිබෙන බෝට්ටු සීනෝර් ආයතනයෙන් නොමිලේ අලුත්වැඩියා කර යළි ලබා දෙනවා.

ඒ වගේම මිරිදිය කර්මාන්තයේ යෙදෙන ඔරුවක් වෙනුවෙන් රුපියල් ලක්ෂයක මුදලක් මෙන්ම, ධීවර සමිතිය හරහා උපරිම දැල් පහක් දක්වා එක දැලකට රුපියල් 15,000 බැගින් රුපියල් 75,000ක් ලබා දෙනවා. සමහර වැව්වල පැටවුන් සියයට 35%ක් පමණ ගසාගෙන ගොස් තිබෙනවා. සමහර වැව්වල සියල්ලම ගසා ගෙන ගොස් තිබෙනවා. හානියට පත්ව තිබෙන ජලාශවලට ධීවර අමාත්‍යාංශයෙන් අවස්ථා දෙකකදී පැටවුන් ලබා දෙනවා.

ආපදාවට පත්වූ පාසල් සිසුන්ට ජනාධිපති අරමුදලෙන් රුපියල් 10,000ක් සහ මහා භාණ්ඩාගාරයෙන් රුපියල් 15,000ක් ලබා දෙනවා. අලුත් පාසල් වාරය ආරම්භ කිරීමට පෙර පාසල් සිසුන්ට මේ දීමනාව ලබා දීමට අපි උපරිම උත්සාහ කරනවා.

ආපදාවෙන් හානි වූ ව්‍යාපාරික ස්ථානවලට කර්මාන්ත අමාත්‍යාංශයේ ලියාපදිංචි වෙන්න කියලා අවස්ථාවක් ලබා දුන්නා, ඒ අනුව තනි ව්‍යාපාර, ක්ෂ්ද්‍ර ව්‍යාපාර සහ සුළු ව්‍යාපාර වශයෙන් 9600ක් ලියා පදිංචි වී තිබෙනවා. එම කර්මාන්තවලට යළි පණ දීමට මේ ව්‍යාපාර ස්ථාන 9600ටම රුපියල් ලක්ෂ 2ක බැගින් ලබාදීමට අපි තීන්දු කර තිබෙනවා.

ව්‍යාපාරික ගොඩනැගිවලටද විශාල හානියක් සිදුව තිබෙනවා. අර්ධ හානියට පත් ව්‍යාපාරික ස්ථානයකට ආරම්භයක් වශයෙන් රුපියල් ලක්ෂ 5ක් ලබා දෙනවා. ඒක ප්‍රමාණවත් නොවන්නේ නම් තක්සේරු කර උපරිම ලක්ෂ 50ක් දක්වා ලබා දෙනවා.

තමන්ට සිදුව ඇති හානිය රුපියල් ලක්ෂ 5 වැඩි නම්, රුපියල් ලක්ෂ 5 ආධාර මුදල අරගෙන තක්සේරු කරන්න බැහැ. ඊළඟට කර්මාන්ත අමාත්‍යාංශයේ ලියාපදිංචි නොවුණු, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් වෙළෙඳ බලපත්‍ර ලබා ගත් සුළු ව්‍යාපාරිකයන් විශාල ප්‍රමාණයක් සිටිනවා. නමුත් දත්ත තවම එකතු වී නැහැ. එනිසා දත්ත එකතු නොවී අපට තවම තීරණයක් ගන්න බැහැ. නමුත් කඩේ භාණ්ඩ සියල්ල විනාශ වුණා නම් යළි ව්‍යාපාරය ආරම්භ කරන්න නම් ආණ්ඩුව ආධාර කරන්න අවශ්‍යයි. ඒකට දත්ත නොමැති නිසා දිස්ත්‍රික් ලේකම්වරු හරහා ප්‍රා‍දේශීය වශයෙන් තිබෙන ව්‍යාපාර ස්ථාන සම්බන්ධව වාර්තාවක් ලබා ගෙන දීමනාවක් ලබාදීමට තීරණය කර තිබෙනවා. ඉස්සන් වගාව වැනි මිල අධික මහා පරිමාණ ව්‍යාපාර වලට සහනශීලී ණයක් ලබා දීමට අප තීන්දු කර තිබෙනවා.

කුඩා පරිමාණ ව්‍යාපාරිකයන්ට ලක්ෂ දෙක හමාරේ සිට ලක්ෂ 10ක් දක්වාත්, මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට උපරිම ලක්ෂ 250ක් දක්වාත් ණය ලබා දෙනවා. ණය ලබා දීමේදී ආණ්ඩුව පොළියක් අය කරගන්නේ නැහැ. අපි බැංකුවලට මුදල් ලබා දෙනවා, බැංකු හරහා ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරනවා. ණය යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීමේදී පරිපාලන යම් වියදමක් යනවා. ඒ වියදමට සරිලන කුඩා පොළියක් බැංකුව අය කරයි. ණය මුදල් ලබා ගැනීමෙන් අනතුරුව නැවත ණය මුදල ගෙවීම සිදුකළ යුත්තේ මාස හයකින් පසුවයි.

අපේ අරමුණ මේ ව්‍යසනයට පත්වූ අයගේ ජනජීවිතය යළි ගොඩනැඟීමයි. ඔවුන්ගේ ජීවිත අපට අත්හරින්න බැහැ. අපේ අභිප්‍රාය අනවසර ඉදිකිරීම් කියන එක ඉවත් කිරීමයි. අපට මේ ආධාර ලබාදීමට යම් කාල රාමුවක් අවශ්‍යයි. මේක අද සම්මත වුණාට සඳුදා ගිහින් සල්ලි ගැන අහන්න එපා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් මේ ක්‍රියාදාමයන් සිදු වෙනවා. ඇත්ත ප්‍රශ්න විසදන්න යම් ක්‍රම තිබෙනවා. ඇත්ත වශයෙන් මේ සියල්ල පුරවැසියන්ට ලබා දීමට නම් විපක්ෂයේද සහාය අවශ්‍යයි. පුරවැසියන්ට ආධාර ලැබී නොමැති නම් තව මාස දෙකක් ගිහින් ගෙයින් ගෙට යන්න. දැනට ආපදා කළමනාකරණ කමිටු රැස්වීමට යන්න.

මේක අපි පියවරෙන් පියවර ආරම්භ කරනවා. පෙර සඳහන් කළ පරිදි නාය යෑමට භාජනය වු කලාපවල පවුල් 17648කටම මේ රුපියල් ලක්ෂ 50ක දීමනාව අපි ලබා දෙනවා. මේ සියල්ලම අවදානම් කලාපවලින් ඉවතට ගන්නවා. 2027 වන විට අධි අවදානම් කලාපවල කිසිදු පවුලකට ජීවත් වීමට නොහැකි වන පරිදි නීති සම්පාදනය කරනවා.

ඒ වගේම පූර්ණ වශයෙන් හානි වූ නිවාස ගත් විට, කුරුණෑගල වගේ ප්‍රදේශවල පදිංචි වීමට සුදුසු ඉඩම් තිබෙන අයට රුපියල් ලක්ෂ 50 ලබා දෙනවා. නිවාස ඉදි කරදීමට රජයේ ඉඩම් අත්පත් කර ගන්නා ලෙසට අපි දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් ලබා දී තිබෙනවා. අපි රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කළේ මේ ජනතාවගේ ජනජීවිතය යළි ගොඩනැඟීමටයි.

ස්වභාවික ව්‍යසන වළක්වන්න බැරි වුවත්, මෙවැනි ස්වභාවික ව්‍යසනවලින් විය හැකි හානි වැළැක්වීමට දීර්ඝ කාලීන සැලසුමක් අවශ්‍යයි. මධ්‍ය කදුකරය යළි යථාවත් කිරීම ඉලක්ක කරගත් දීර්ඝ කාලීන සැලසුමක් අපි සකස් කර ක්‍රියාත්මක කරනවා. එනිසා විධිමත් පියවර ගණනාවක් ඔස්සේ මේ සඳහා අප ප්‍රවිශ්ඨ වී තිබෙනවා.

හානියට පත් මාර්ග පද්ධතිය, විදුලි පද්ධතිය, ජල පද්ධතිය යථාවත් කිරීමට කටයුතු කරමින් තිබෙනවා. විදුලි පද්ධතිය යථාවත් කිරීමේදී එක් සේවකයෙක් මියගියා. ඊළඟ අභිප්‍රාය සියලුම පාසල් විවෘත කිරීමයි. ආණ්ඩුවක් වශයෙන් අපේ වගකීම නිසි පරිදි ඉටු කළා යැයි කියන තෘප්තිය අපට තිබෙනවා. ඉතාමත් සැලසුම් සහගතව මේ රට යළි යථාවත් කිරීමේ වගකීම අපි ඉටු කරමින් සිටිනවා. අපි සියලුදෙනා එකතුවෙලා මේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යමු යනුවෙන් ද ජනාධිපතිවරයා කීය.

 



අදහස් (0)

ජනපති, ආපදා සහන පැකේජය මැති සබේ දී දිග හරියි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 135 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site