බෙංගාල බොක්ක ප්‍රදේශයේ සුළි කුණාටුව දිවයිනෙන් ඉවතට



 
 
 
(ඩයනා උදයංගනී)

 
          
නිරිතදිග බෙංගාල බොක්ක ප‍්‍රදේශයේ පැවති ‘පේතායි’ සුළි කුණාටුව චණ්ඩ සුළි කුණාටුවක් බවට වර්ධනය වෙමින් දිවයිනෙන් ඉවතට ගමන් කරමින් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


එබැවින් එහි බලපෑම හෙටින් (17) පසු ක‍්‍රමයෙන් අඩු වී යනු ඇතැයි කාලගුණ දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශකයෙක් පැවසීය.


කෙසේ වුවත් හෙට (17) දිනයේත් මඩකලපුව සිට ත‍්‍රිකුණාමලය හරහා කන්කසන්තුරය දක්වා ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප‍්‍රදේශවල ධීවර හා නාවුක කටයුතුවල යෙදී සිටීමෙන් වළකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දීමක් කර තිබේ.


එම මුහුදු ප‍්‍රදේශවල මෙන්ම උතුරු, ඊසාන සහ නැගෙනහිර මුහුදු ප‍්‍රදේශවලත් තද සුළං සහ වැසි ඇතිවන බව ද එම ප‍්‍රකාශකයා සඳහන් කළේය.


මෙම මුහුදු ප‍්‍රදේශවල පැයට කිලෝමීටර 70, 80 පමණ වේගවත් තද සුළං ඇතිවිය හැකි අතර ඇතැම් අවස්ථාවල එම සුළඟේ වේගය පැයට කිලෝමීටර 90 පමණ දක්වා ඉහළ යා හැකි බව ද ඔහු ප‍්‍රකාශ කළේය. 


දිවයින පුරා වැසි රහිත, තරමක ශීත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇතැයි ද එම ප‍්‍රකාශකයා කීවේය.