(ළහිරු හර්ෂණ)
ශ්‍රී ලංකාවේ සිටින එක්සත් රාජධානියේ මහ කොමසාරිස් සාරා හල්ටන් මහත්මිය විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඊයේ 26 හමුවිය.
එහිදී එතුමිය ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස පීරිස් මහතා නැවත පත්වීම සම්බන්ධයෙන් සිය සුබ පැතුම් පළ කළා ය.
විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය පීරිස් මහතා සහ මහ කොමසාරිස් හල්ටන් මහත්මිය මෙහිදී ද්විපාර්ශ්වික කටයුතු, මෙරට ප්‍රගතිය සහ ශ්‍රී ලංකාව මුහුණ දෙන වත්මන් ආර්ථික අභියෝග ජය ගැනීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව ලබා දෙන සහය පිළිබඳව සාකච්ඡා කළහ.
ආර්ථික අභියෝග කිහිපයකට මුහුණ දීම සඳහා ඒකාබද්ධ උපාය මාර්ග සකසන අතරතුර අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයුම තහවුරු කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇති බව විදේශ කටයුතු අමාත්‍යවරයා පැහැදිලි කළේ ය.
දිගුකාලීන ආර්ථික ස්ථාවරත්වය උදා කර ගැනීම සම්බන්ධයෙන් බහුපාර්ශ්වික සංවිධාන සමඟ සම්බන්ධ වී කටයුතු කරන අතරතුර මෙම කාල සීමාව තුළ ලැබුණු ද්විපාර්ශ්වික සහය ශ්‍රී ලංකාවේ ඇගයුමට ලක්විය.