
(ඩයනා උදයංගනී)
බස්නාහිර පළාතේ විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එකතු කිරීමේ වැඩ සටහනක් මෙම මස 28 හා 29 දෙදින තුළ ස්ථාන 40 කදී සිදුකරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
දැනට භාවිතයට නොගන්නා විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය හේතුවෙන් විශාල පාරිසරික හානියක් මෙන්ම මහජන සෞඛ්‍යයට බරපතල බලපෑමක් එල්ල වී ඇති නිසා මෙවැනි වැඩ සටහනක් ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව ඇමතිවරයා සඳහන් කළේය.
මෙම වැඩ පිළිවෙළ මධ්‍යම පරිසර අධිකාරිය මගින් ක්‍රියාත්මක කරන බවත් ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එකතු කිරීමේ මධ්‍යස්ථාන 17ක් කොළඹ දිස්ත්‍රික්කයේත්, ස්ථාන 13ක් ගම්පහ දිස්ත්‍රික්කයේ හා ස්ථාන 10ක් කළුතර දිස්ත්‍රික්කයේ පවත්වාගෙන යාමට නියමිත බවත් ඇමතිවරයා කීවේය.
මහින්ද අමරවීර මහතා මේ බව පැවසුවේ මධ්‍යම පරිසර අධිකාරියේ දී අද (25) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
වාර්ෂිකව මෙරටින් විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය මෙට්‍රික්ටොන් 95,000ක් පමණ බැහැර කෙරෙන අතර 2021 දී එය මෙට්‍රික්ටොන් 1,21,000 දක්වා ඉහළ යනු ඇතැයි බලාපොරොත්තු වන බවත් සඳහන් කළේය.
විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික උපකරණ භාවිතයෙන් පසුව අබලන් වුවද නිවෙස් තුළම තබා ගැනීමට ඇතැමුන් කටයුතු කරන නමුත් මෙම උපකරණවල අන්තර්ගත ඇතැම් විකිරණශීලි ද්‍රව්‍ය නිසා චර්ම රෝග, සමේ පිළිකා, හා වෙනත් රෝගී තත්වයන් ඇති වීමේ අවදානමක් පවතින නිසා ඒවා මෙම ස්ථානවලට බාර දෙන ලෙස ද ඉල්ලා සිටින බව ඇමතිවරයා පැවසීය.

