බන්දුලගේ ප්‍රකාශය ගැන අකිලගේ විරෝධය


(රංජන් කස්තුරි)

මෙවර අධ්‍යයන පොදු සහතිකපත්‍ර උසස් පෙළ විභාගයේදී කලා විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානයට ජාත්‍යන්තර පාසල් ශිෂ්‍යාවක පත්වීම පිළිබඳව හිටපු අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා ඉතා සාවද්‍ය හා අයුක්ති සහගත ප්‍රකාශ කරමින් තිබෙන බව අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යාංශයේදී අද (07) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවැසීය.

හිටපු අධ්‍යාපන ඇමතිවරයකු එවැනි අදූරදර්ශී අතාර්කික ප්‍රකාශ දිගින් දිගටම සිදුකිරීම කනගාටුදායක කරුණක් බවද ඇමතිවරයා කීය.

රජයේ පාසල්, ජාත්‍යන්තර පාසල් හා පෞද්ගලික පාසල්වල දරුවන්ට වෙන වෙනම සැලකීමේ ක්‍රමවේදයක් ආණ්ඩුවේ හෝ අධ්‍යාපන අමාත්‍යාංශයේ හෝ නොවන බවද කාරියවසම් මහතා පැවැසීය.

පෞද්ගලික අයදුම්කරුවන්ට උසස් පෙළ විභාගයට පෙනී සිටීමේ බාධාවක් නොවන අතර එය වසර ගණනාවක සිටම සිදු වූ සාමාන්‍ය ක්‍රමවේදය බවද පැවසූ අධ්‍යාපන ඇමතිවරයා ඉකුත් 2013 වසරේ සිට පෞද්ගලික අයැදුම්කරුවන් ඒ ඒ විෂය ධාරාවන්ගෙන් ඉහළ ස්ථානවලට පැමිණි අවස්ථා ඇති බවද අකිල විරාජ් කාරියවසම් මහතා කීය.

දේශපාලන අවශ්‍යතා මත බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා රටේ දරුවන්ගේ දක්ෂතා හෑල්ලුවට ලක්කිරීමේ පහත් උත්සාහයක නිරතවෙමින් සිටින බවද එහිදී අධ්‍යාපන ඇමතිවරයා පැවසීය.

එහිදී අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා මෙසේද කීය.

“එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අනුව අධ්‍යාපනය ලැබීමේ අයිතිය සියලු දෙනාටම තහවුරු කර තිබෙනවා. කිසිම දරුවකුට වෙනස් කර සැලකීමේ අයිතියක් නැහැ. හැම දරුවකුටම සමාන අයිතිවාසිකම් ලබාදිය යුතුයි.”