බදුල්ල දිස්ත්‍රික්කයේ මාර්ග කිහිපයක් යලි විවෘත කරයි


(ප්‍රසාද් රුක්මල් )

බදුල්ල දිස්ත්‍රික්කයේ පැවති වර්ශාවත් සමඟ සිදුවු නායයාම්, ආපදාවන්  නිසාවෙන්  වසා දමා තිබූ ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය  ඇතුලු දිස්ත්‍රික්කයේ මාර්ග කිහිපයක් අද (30) පස්වරුවේ ගමනාගමන කටයුතු සඳහා යලි  විවෘත කළ බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන මහතා පවසයි.

පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටී  නායයාමට ලක්වීම නිසාවෙන් දින කීපයක් මෙසේ බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රධාන මාර්ග ඇතුලු අතුරු මාර්ග රැසක් අවහිර වී ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන් ඇණහිට තිබුණි.

මේ අනුව දෙස් විදෙස් සංචාරකයන්ගෙ   ප්‍රධාන ගමන් මාර්ගයක් වූ ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ  අවහිර වී තිබූ ආපදාවන් බාධක ඉවත් කර අද (30)  පස්වරුවේ යලි ගමනාගමන කටයුතු සදහා විවෘත කල බවත් දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන මහතා සදහන් කළේය .

මීට අමතරව ආපදාවන් නිසාවෙන් වසා දමා තිබු දෙමෝදර ස්ප්‍රිංවැලි, වැලිමඩ බණ්ඩාරවෙල, හාලිඇල ගලඋඩ, බොරලන්ද හපුතලේ  මාර්ගයන්ද අද (30) පස්වරුවේ විවෘත කළ බව පවසන මාර්ග සංවර්ධන අධිකාරියේ විධායක ඉංජිනේරු එස් .එස්.හෙන්නායක මහතා දැනට වසා දමා තිබෙන බදුල්ල  පස්සර ප්‍රධාන මාර්ගය ද හෙට (01) දින විවෘත කිරීමට හැකි වෙනු ඇති බවත් , බදුල්ල මහියංගන ප්‍රධාන මාර්ගය විවෘත කිරීමට තව දින කීපයක් ගතවෙන බවද පැවසීය.